ඉපදී මාස හතරේ සිට ළමා නිවාසයක හැදී වැඩී වසර 20කට පමණ පසුව තම මව සොයාගෙන පැමිණ ආබාධිතව එක්තැන්ව සිටිනා මව රැකබලා ගන්නා එක් පාදයක් අහිමි ආබාධිත තරුණයකු පිළිබඳ දුක්බර කතා පුවතක් ගලේවෙල කුඹුක්ගොල්ල ගම්මානයෙන් වාර්තා විය.
ගලේවෙල, බේලියකන්ද, කුඹුක්ගොල්ල ගමේ තනි කාමරයක ජීවත් වන මෙම පුතා නමින් ප්‍රසන්න ජයලත්ය. ඔහුගේ මව මේනකා උදයන්තිය. මෙම මවට ඇද වැටීමකින් සිදු වූ කොඳුඇටපෙළේ ආබාධයක් හේතුවෙන් යකඩ තහඩු කොන්දට සවිකොට ඇති අතර, ඇයට තනිව කිසිඳු වැඩක්පලක් කර ගැනීමට නොහැකිව ඇඳට වැටී සිටී. මේ හේතුවෙන් සිරුරේ තුවාල පවා දමා මේ වන විට ඇය සිටින්නේ දැඩි රෝගාතුර තත්ත්වයකය. හදිසි අනතුරකට පත්ව එක් පාදයක් ඉවත් කළ ප්‍රසන්න ජයලත් හැදී වැඩී ඇත්තේ ළමා නිවාසයකය. ඔහු තම මව සොයාවිත් ඇයට සියලු උවටැන් සිදු කරමින් ජීවත්වන අතර, මව උස්සා පෙරළා ගැනීම සඳහා අවට කාන්තාවන්ගේ සහාය ලබා ගන්නා බව ඔහු කියා සිටියේය. මවගේ සනීපාරක්ෂක කටයුතු සිදු කිරීම, නහවා පිරිසුදු කිරීම, රෙදි සෝදා දීම, ආහාර පිස දීම ආදී සියල්ල සිදු කරන්නේ මෙම තරුණයා අතිනි. ගමේ තරුණ පිරිසක් ආරම්භ කර ඇති වතුර පෙරණයක් සහිත ස්ථානයක මසකට රුපියල් දහදාහක වැටුපකට ප්‍රසන්න රැකියාවක් සිදු කරයි. ඔහු සඳහන් කරන්නේ, ඉන් ලබා ගන්නා මුදල තමන් දෙදෙනාගේ බඩ වියත රැක ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බවයි. තමන් දෙදෙනාගේම ප්‍රතිකාර වියදම්, මවගේ පැම්පස් සඳහා යන වියදම මෙම තරුණයාට අමතර බරක් වී තිබේ.
දැනට එක්තැන්ව සිටින මෙම මව තරුණ කාලයේ සිටම සිහි මද ගතියකින් පෙළුණු කාන්තාවකි. ඇයට අවස්ථාවාදී පිරිමියකු අතින් සිදුවූ අතවරයකින් මෙම දරුවා පිළිසිඳගෙන ඇති අතර, ඔහු මෙලොව එළිය දැක මාස පහකටත් අඩු කාලයක් ගත වෙද්දී ඇගේ රෝගී තත්ත්වය මත දරුවකු සාදා ගැනීමට නොහැකි බවට වුණු නිගමනයකින් මීට වසර 20කට පමණ ඉහතදීම පොලිසිය හා පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය එක්ව අධිකරණ නියෝගයක් මත මෙම දරුවා මහනුවර ‘ටිකිරි’ ළමා නිවාසයට භාර කර තිබිණ. කුඩා අවධියේ එහි හැදී වැඩුණු ප්‍රසන්න ජයලත් පෙර පාසල් විය වන විට මාතලේ ප්‍රදේශයේ පිහිටි රජයේ ළමා නිවාසයක හැදී වැඩී අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට ද පෙනී සිට තිබේ. ඔහු අම්මා සහ තාත්තා කිසිදු දිනක දැක නැත. වයස අවුරුදු දහ අටක් පසු වෙද්දී ඔහුට ළමා නිවාසයේ ජීවත්වීමට නීතියෙන් ඉඩහසර නොමැති නිසා නිවාසයේම පාළිකාවන්ගේ උදව්වෙන් තරුණයා මාතලේ ප්‍රදේශයේ පෞද්ගලික සේවා ස්ථානයකට යොමු කොට ඇත්තේ රැකියාවක් සිදු කිරීම සඳහාය. රැකියාව කර ගැනීමට හැකි වූයේ ඉතාමත් සීමිත කාලයකි. ත්‍රිරෝද රථයකින් එම ආයතනයට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා තවත් අයකු සමග ගමන් කරමින් සිටියදී බරණ මින්නේරිය ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් සමඟ ඔහු ගමන් ගත් ත්‍රිරෝද රථය අනතුරකට පත්ව ඔහුගේ එක පාදයක් ඉවත් කිරීමට සිදුව තිබිණි. මාස ගණනාවක් රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් ඉතා අසරණව සිටි ප්‍රසන්න නැවතත් රෝහලේ උදව්වෙන් ළමා නිවාසයට රැගෙනවිත් දැමුවද එහි පාලිකාවන්ට ඔහුට උවටැන් කිරීම හෝ ළඟ තබා ගැනීමට තවදුරටත් කළ නොහැකි විය.
මේ කාලයේ රජයේ නිලධාරීන් හා අධිකරණයේ පිහිට පතා තමාව කුඩා අවදියේ රජයට භාර දුන් මව සොයා ගැනීමේ කටයුත්තේ නිරතව තිබිණි. ඒ අනුව අධිකරණ නියෝගයෙන් මීට වසර තුනකට පමණ ඉහතදී මෙම තරුණයාගේ මවට ආබාධිත තරුණයා භාර දී තිබේ. තරුණයා සිය මව දකින විට ඇයද දැඩි ලෙස රෝගාතුර වී ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් විසින් තනා දෙන ලද පුංචි කාමරයක ඇඳක් මත කාගේ හෝ උදව්වකින් දිවි ගෙවන අයුරු දැක ගැනීමට හැකිව තිබිණ. තරුණයා ක්‍රමක්‍රමයෙන් තම මවට සමීප වී ඇයට උවටැන් කිරීමට පුරුදු වූයේය. ප්‍රසන්න ජයලත් තරුණයා අප සමග කියා සිටියේ තමන්ට අම්මා කියන වචනය දිවට හුරු නැති වූ බවයි. කෙසේ නමුත් දැන් තම මුවගින් පිටවන එකම වචනය ද ‘අම්මා’ යැයි ඔහු සඳහන් කරන්නට විය. මොවුන් ජීවත්වන පුංචි නිවෙසට විදුලිබලය නොමැත. අඩුම තරමේ වැසිකිළි කැසිකිළි යෑමට අවශ්‍ය පරිසරයක් ද මෙම නිවෙසේ නොමැත. ඖෂධ,පැම්පස් මිලදී ගැනීම, තුවාල බෙහෙත් සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බව ද ඔහු අප සමග සඳහන් කළේය. ප්‍රසන්න මවගේ සියලු උවටැන් සිදුකොට ගම මැද ඇති වතුර අලෙවි කරන ස්ථානයට ගොස් රැකියාව සිදුකොට නැවතත් පෙරවරුවේ නිවෙසට පැමිණ තම මවට ආහාර පිස ඇය පිරිසුදු කොට නැවතත් සේවාවට යන අතර, අසල්වැසි කාන්තාවන්ගෙන් ලැබෙන උදවුවෙන් තම මව එළියට රැගෙන ගොස් පිරිසුදු කර ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කර සිටියේය. මෙම තරුණයාට කාගේ හෝ උදව්වක් උපකාරයක් ලැබේනම් එය ඔහුගේ ජීවිතයට මහත් අස්වැසිල්ලක් වනු ඇති බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ, ඔහුට වැසිකිළියක්, ආහාර පාන, මවට බෙහෙත් ඖෂධ, සනීපාරක්ෂක තුවා මෙන්ම විදුලි බලය ලබා ගැනීම අත්‍යාවශ්‍ය කාරණා බවයි.
ඔහුගේ ලිපිනය ප්‍රසන්න ජයලත්, කුඹුක්ගොල්ල, බේලියකන්ද, ගලේවෙල. දුරකථන අංකය – 076 2543631 මහජන බැංකුවේ මාතලේ ශාඛාවේ ප්‍රසන්න ජයලත් නමින් ඇති ගිණුම් අංකය 0022 00 52 00 21652 ඔස්සේ ඔහුට උපකාර කළ හැකිය.
සීගිරිය විශේෂ