පොලොන්නරුව, සෙවණපිටිය නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසලකට ඇතුළු වී පුද්ගලයකු එහි බඩු සොරා ගන්නා අයුරු එම සුපිරි වෙළෙඳසලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ පටිගත වී ඇත. මෙම සොරකම පෙරේදා (16) අලුයම 3.30ට පමණ සිදුව ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයා එම සුපිරි වෙළෙඳසලේ දොරවලට දමා තිබූ ඉබි කඩා වෙළෙඳසලට ඇතුළු වී එම සුපිරි වෙෙළඳසලේ අලෙවියට තබා තිබූ සිගරට්, ජංගම දුරකතන පෙරගෙවුම් කාඩ්පත් හා මුදල් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙම සොරා විසින් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා මුදල් හා භාණ්ඩ සොරාගනු ලැබ ඇති බව එම වෙළෙඳසලේ හිමිකරු සඳහන් කළේය.
සොරකම සම්බන්ධයෙන් වෙළෙඳසලේ හිමිකරු වැලිකන්ද පොලීසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සීසීටීවී දර්ශන ඔස්සේ සොරකමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිරිපුර – මදුශානි අබේසිංහ