Tuesday, April 22, 2025
Home » ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ පණිවිඩයක් මේ මැතිවරණය ජාත්‍යන්තරයට ගෙන ගියා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ පණිවිඩයක් මේ මැතිවරණය ජාත්‍යන්තරයට ගෙන ගියා

රාජ්‍ය බලය අවභාවිතය අවම වූ එකම මැතිවරණයත් මෙයයි - අන්ෆෙල් සංවිධානය

by sachintha
November 18, 2024 2:08 am 0 comment

 

2024 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමිව සහ සාධාරණව ඉතා විනිවදභාවයකින් පැවති බව මැතිවරණයක් බව ‘සාධාරණ මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය’ (අන්ෆෙල් ) සංවිධානය පවසයි. මේ මැතිවරණය ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ පණිවිඩයක් ගෙන ගිය බව සාධාරණ මැතිවරණයක් සදහා වූ ආසියානු ජාලයේ (අන්ෆෙල් සංවිධානයේ ) මෙහෙයුම් ප්‍රධානි ආසියාත් රිල්වීනා මෙණෙවිය අවධාරණය කළාය. ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ රාජ්‍ය බලය අභාවිතාව අවම වූ එකම මැතිවරණයද මෙය බව ඇය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ මහ මැතිවරණය පිළිබඳ සිය අවසන් වාර්තාව ජනගත කිරීමේ අවස්ථාවට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (17) එක් වෙමිනි.

මැතිවරණය විනිවිදභාවයෙන් යුතුව පැවති බවද කී ඇය ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ බවත් පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමක් සිදු නොවීම සුවිශේෂි තත්තවයක් බවද ඇය පෙන්වා දුන්නාය. මැතිවරණ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස අත්පත් වූවද රතිඤ්ඤා දැමීමක්, පෙළපාළි ඇතුළු කිසිවක් වාර්තා නොවීමද මැතිවරණ ඉතිහාසයට එක් වන බවද ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් ඉතා සාමකාමිව මෙවර මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පැවති රජයට මැතිවරණ කොමිසමට විවිධ පක්ෂ වලට අපෙක්ෂ්කයන්ට මෙන්ම ඡන්ද දායකයන්ටද සිය ස්තුතිය පුද කරන බවද ඇය කියා සිටියාය. මෙවර මැතිවරණයේ අඩුපාඩුවක් ලෙස ඇය දක්වා සිටියේ විවිධ වෘත්තිකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් නොලැබීමයැයි ඇය පෙන්වා දුන්නාය. වෛද්‍යවරුන්, ඇඟලුම් සේවිකාවන්, පෞද්ගලික අංශය, විදේශගත වූවන් ඇතුළු පිරිස්වලට සිය ඡන්දය භාවිත කිරීමට හැකි වැඩපිළිවෙළක් ඊළඟ මැතිවරණවලදී හෝ ලබා දීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්, ඒ සම්බන්ධයෙන් සිය වාර්තාවේ දක්වා සිටි බවත් ඇය ප්‍රකාශ කළාය.

“ඡන්ද මධ්‍යස්ථාන බොහොමයක් සාමකාමිව පැවතුණා. ඡන්ද දායකයන් පවා හරිම නිහඩතාවකින් යුක්තව සිය ඡන්දය භාවිතා කළා. මැතිවරණ අපේක්ෂකයන් පවා කිසිදු සිද්ධියකට සම්බන්ධ වූ බවට වාර්තා වුණේ නැහැ. වාර්තාව වූපැමිණිලි අවම මට්ටමක තිබුණා. අපි ශ්‍රී ලංකාව වටේම ගොස් නිරීක්ෂණ කටයුතු කළා. අපේ නිරීක්ෂකයන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරට රැඳී සිටිමින් මේ මෙහෙයුමට සම්බන්ධ වූවා” යැයිද කියා සිටියාය.

අන්ෆෙල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා බ්‍රීසා රොසෙල්ස් මෙණෙවියද, එම සංවිධානයේ වැඩසටහන් සම්බන්ධීකාරක තරිඳු අබේරත්න මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර,පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

සුභාෂිණී සේනානායක

ඡායාරූපය – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT