පියාසර මිනිසුන් කිහිප දෙනකුගේ අශුද්ධ සිතිවිලි පරම්පරාවද, අඳුරු පෙට්ටගමක හිර කළ ප්‍රවේගකාරී හැඟීම් සමුදායද විනිවිද ගොස් අනාගත මිනිසා පිළිබඳ ප්‍රති – රචනයක් කිරීමට දරන ලද දුෂ්කර හා නිර්මාණාත්මක අභ්‍යාසයක් සේ “ඕබිටෙල්” නවකතාව හැඳින්විය හැකිය. එය සාර්ථකව පෙළ ගස්වන මහා බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන සමන්තා හේවියර් වර්ජිනියා වුල්ෆ් තරමටම ගාම්භීරය. ජේමිස් ජොයිස් තරමටම සූක්ෂ්මය. එබැවින් ඇයට බුකර් සම්මානය හිමිවීම පුදුමයක් නොවේ.
බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන සමන්තා හේවියර් මෙවර බුකර් සම්මානය දිනාගෙන තිබේ. ඇයගේ ‘ඕබිටෙල්’ නම් නවකතාවට සම්මානය හා ත්‍යාගය හිමි වී ඇත. ආකාර තුනකින් එම ප්‍රබන්ධය විශ්ලේෂණය කොට නිර්වචන සැපයිය හැකිය. එය දැනටම සිදුවෙමින් පවතී. එක අතෙකින් එය විද්‍යා ප්‍රබන්ධයක් සේ සැලැකිය හැකිය. අජටාකාශ මධ්‍යස්ථානයක් පසුබිම්කොට කතාව රචනා වී ඇත. අජාටාකාශ සංචාර, එම සංචාර සඳහා අය කළ හැකි ගාස්තු, ඊට අදාළ යානා ආදිය පිළිබඳ බලවත් සංවාදයක් මේ වනවිට පවතී. එය ගෝලීය මාතෘකාවක් බවට පත් වී ඇත. අමෙරිකාව, චීනය, රුසියාව පමණක් නොව; ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් ද අජටාකාශ ක්ෂේත්‍රයට ප්‍රවේශ වී සිටිති. 2025 වනවිට අති වේගයකින් යුතු ගුවන් ගමන් ආරම්භ කරන බවද ඒ ඔස්සේ චීනයේ බෙයිංජිං සිට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැය දෙකකින් ගමන් කළ හැකි බව චීන විශේෂඥයෝ කියා සිටිති. බ්‍රිතාන්‍ය ලේඛිකාව තෝරාගෙන ඇත්තේ වැදගත් මාතෘකාවක් බව කිව යුතුය.
තව අතෙකින් එය මනෝ විද්‍යාත්මක ප්‍රබන්ධයක් සේ සැලැකිය හැකිය. 20 සියවසේ දී වඩාත් ජනප්‍රිය ගෝලීය නවකතා ප්‍රවණතාවක් වූ මනෝ විද්‍යාත්මක නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ පුද්ගලයන්ගේ සිතිවිලි සම්ප්‍රදාය හා හැඟම් සමූහය සජීවී ලෙස ප්‍රති – නිර්මාණය කරමින් මනුෂ්‍යත්වය විග්‍රහ කිරීමට උත්සුක වීමය. මෙය දුෂ්කර හා සංකීර්ණ අභ්‍යාසයක් ලෙස සැලකිල්ලට ලක්වේ. මේ වර්ගයේ නවකතාවල කැපී පෙනෙන තාක්ෂණ ශිල්ප ධර්මයක් වන්නේ ‘විඥාන ධාරා’ සන්දර්භයයි. චරිතවල අභ්‍යන්තරය හෙළිදරව් කිරීමටත්, මනුෂ්‍යත්වයේ යථා ස්වාභාවය චිත්‍රණය කිරීමටත් යොදාගත හැකි අපූරු ශිල්ප ධර්මයක් සේ ‘විඥානධාරා’ රීතිය හැඳින්විය හැකිය. සමන්තා හේවියර් ලේඛිකාව මේ ශිල්ප ක්‍රමය මැනැවින් පරිහරණය කරන බව කතාව කියවාගෙන යනවිට සනාථ වෙයි. ජේමිස් ජොයිස්, වර්ජිනියා වුල්ෆ් වැනි සම්භාව්‍ය ලේඛක – ලේඛිකාවන් ‘විඥානධාරා සංකල්පය” මැනැවින් භාවිත කළ කතාකරුවන් හැටියට සැලකේ. එම ආභාසයන් ද පෙරමුණෙහි තබාගෙන අදට ගැළපෙන අයුරින් මේ ලේඛිකාව විඥානධාරා සන්දර්භය භාවිත කරන හැටියක් දැකගත හැකිය.
තවත් අතෙකින් සාර්ථක කෙටි නවකතාවක් හැටියටද ඉහත ප්‍රබන්ධය හැඳින්විය හැකිය. නූතන යුගයට හා නූතන පරම්පරාවට ගළපාගත හැකි හොඳම ප්‍රබන්ධ විලාසය කෙටි නවකතාව යැයි තර්කයක් ද පවතී. කෙටි නවකතාවේ විශේෂ ලක්ෂණ කිහිපයක් පෙන්වා දිය යුතුය.
(I)කතාවේ පිටු ගණන 100 – 200 අතර වෙයි.
(II) සිදුවීම් ඉතා වේගයෙන් ගලා යයි. අනවශ්‍ය විස්තර – වර්ණනා කිසිවක් දකින්නට නැත.
(III) භාෂාව සුන්දරය. ගීතාත්මකය. අපූරු රිද්මයක් පවතී.
(IV)අපූරු ආකර්ෂණයක් හා කුතුහලයක් පවත්වාගනී. අඩු කාලයකින් කියවා හමාර කොට උපරිම වින්දනයක් ලබාගත හැකිය.
චමත්කාරය, සරල සුන්දරත්වය, කාලය යන සාධක තුන පෙරමුණෙහි තබාගෙන නූතන ප්‍රබන්ධ කථාව පිළිබඳ ප්‍රබල සංවාදයක් බටහිර රටවල පවතී. අප මෙහිලා බටහිර යනුවෙන් හඳුන්වන්නේ අමෙරිකාව ද අයත්ව ඉංග්‍රීසි ප්‍රබන්ධ කතා ක්ෂේත්‍රය බව අවධාරණය කළ යුතුව තිබේ.
මේ නවකතාවෙන් ලෝකයේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන බරපතළ සාකච්ඡාවක් ඇතැ’යි කෙනකු තර්ක කළහොත් එය නිවැරැදිය. අභ්‍යවකාශ චාරිකාවෙන් පසු එකිනෙක පුද්ගල චරිත තම භූමියට ගොස් ඉදිරි ජීවිතය පිළිවෙළ කරගන්නේ නැතහොත් සැලැසුම් කරගන්නේ කෙසේද යන ගැටලුව එකිනෙක පුද්ගලයෝ ගැඹුරින් විශ්ලේෂණය කරති. ආරක්ෂාව, ජීවත්වීම, ගැටුම්, ජයග්‍රහණ, සාර්ථක හා සැනසිලිදායක ජීවිතය සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් මෙහි පවතී. කෙනෙක් ජීවන ආරක්ෂාව සඳහා බිම් ගෙවල් තැනිය යුතු යැයි කල්පනා කරති. තව කෙනෙක් තමන්ගේ අනන්‍යතාව සඳහා තෝරාගත් වැසිකිළි තනිව භාවිත කළ යුතු යැයි කල්පනා කරති. ජාතිය මුල්කරගත් අභිමානය හාස්‍යයට ලක් කෙරේ.
වර්තමාන ලෝකය තුළ ඇත්තේ බලවත් ගනුදෙනුය. ගනුදෙනුවලට අනුව අනාගත ලෝකය තීන්දු වන්නේ යැයි කිව හැකිය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයන් සමඟ රුසියන් – යුක්රේන යුද්ධය ගැනද, ගාසා තීරයට පහරදීම ගැන ද යහපත් කතා අසන්නට ලැබේ. යුද්ධ දෙකම කෙටිකාලයකින් නතර වන්නට පුළුවන. ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළ සැණෙන් බොහෝ දේවල්වල වෙනස්වීම් පටන්ගන්නට පුළුවන.
මේ වනවිට ගෝලීය වශයෙන් සංවාදයට ලක්වන ප්‍රධාන අර්බුද කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.
(I)තෙවන ලෝක යුද්ධයක්
(II)න්‍යෂ්ඨික ආයුධ පාවිච්චි කිරීම සිදුවෙයිද?
(III) එක්සත් ජාතීන්ගේ සංවිධානය යළි ශක්තිමත් කිරීම
(IV) ආහාර සුරක්ෂිත කිරීම සඳහා ලෝක වැසටහනක්
(V) දේශගුණික විපර්යාසවලට සාර්ථකව මුහුණදීම
(VI)සාගතය පැතිරයෑම වැළැක්වීම මන්දපෝෂණය වැළැක්වීම
(VII) දිළිඳුකම වර්ධනයවීම නැවැත්වීම හා මිනිස් අයිතිවාසිකම් සාධාරණ ලෙස ලබාදීම
(VIII) බලශක්ති අර්බුදයට විසඳුම්
(IX) ජීවන වියදමට විසඳුම්
(X)රැකීරක්ෂා ගැටලුවට විසඳුම්
නිරන්තරයෙන් කැකෑරෙන මෙබඳු බරපතළ ගෝලීය ගැටලු පවතිද්දී අජටාකාශ ගමන් හා යුද්ධ සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීම හා තරගයට මෙන් අජටාකාශ ක්‍රියාකාරකම් යෙදීමත් දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල විද්වතුන්ගේ විවේචනයට ලක්වන්නේ වුව ඒ සඳහා ලෝක බලවතුන්ගේ ඇති උනන්දුව හා කැපවීම අඩු වන බවක් පෙනෙන්නට නැත. ඇතැම්විට ඉදිරි දශකය තුළ එම යෙදවුම් බෙහෙවින් ඉහළ යා හැකිය. එය නැවැත්විය නොහැකිය. වැළැක්විය නොහැකිය. මෙබඳු පසුබිමක් තුළ කතුවරියගේ අවධානයට ලක්වී ඇත්තේ ලොව ප්‍රධාන හා ආකර්ෂණීය විෂය ක්ෂේත්‍රයක් බව සඳහන් කළ යුතුය.
ප්‍රබන්ධ කතා රචකයා තම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවද ඒ වෙනුවෙන් මහත් කැපවීමක් කළ යුතු බවද කියනු ලැබේ. අපගේ ලේඛිකාව තම කෘතිය කිහිප වරක්ම නවතා දමා පසුව යළි ආරම්භ කර තිබේ. හේතුව එම විෂය ක්ෂේත්‍රය පිළිබඳ කරුණු හැදෑරීමට කාලය යෙදවීමයි. අත්දැකීම් නැතිව ලිවීම අපහසුය. සැබෑ ලියවිල්ලක් සඳහා කාලය අවශ්‍ය වේ. සමන්තා හේවියර් එම කැපවීම සහිත අවංක ලේඛිකාවක බව පෙනෙයි. මේ ඇයගේ පස්වන නවකතාව බවද සඳහන් කළ යුතුය. ඇයගේ කෘති කිහිපයකට වෙනත් සම්මාන ලැබී ඇත. මීට පෙර ඇගේ නවකතාවක් බුකර් සම්මානයට ද නිර්දේශ වී ඇත. වෙර ‘ඕබිටෙල්” නවකතාව සමඟ තවත් ප්‍රබන්ධ පහක් අවසන් වටය සඳහා තේරී පත්වී තිබිණි. ඇගේ කෘතියේ ඇති විශේෂත්වය විනිශ්චය මණ්ඩලය විසින් ලුහුඬින් දක්වා තිබුණේ මෙසේය.
(I)නවකතාවට පාදක වන කාල පරාසය පැය විසිහතරකි. එනම්; එක් දිනයකි.
(II)ප්‍රබන්ධයෙන් නිරූපණය වන චරිත ගණන හයකි. එම චරිත හය ඉතා ප්‍රබල ලෙස නිරූපණය කිරීමට කතුවරිය සමත් වී ඇත.
(III)පුද්ගල චරිතවල ඇතුළාන්තය හෙළිදරව් කිරීම හා ඔවුන්ගේ අනාගත පරිකල්පනයන් නිරූපණය සඳහා ද නවකතාවේ ශිල්පධර්ම මැනැවින් ගළපාගෙන තිබේ.
(IV)භාෂාව කාව්‍යාත්මකය. කතාව පුරාවටම අපූරු රිද්මයක් පවත්වාගෙන යයි.
(V)සම්පූර්ණ කතාව පිටු එකසිය තිස් අටකින් අවසන් වෙයි. කපාහැරිය හැකි එක විරාම ලකුණක්වත් එහි නැත.
(VI) ‘ඕර්බිටෙල්’ යනු අපූරු නිමාවකින් යුතු අතිශය සුන්දර කතාවකි. අවසන් ලෙස ඉන් සංවාදයට ලක් කෙරෙන්නේ අනාගත මිනිසාගේ අනාගත ලෝකයයි.
මෙවර සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වූයේ ද කාන්තාවටය. ඇය දකුණු කොරියානු ලේඛිකාවක වන හෑන්ස්ය. ලොව පුරා ලේඛිකාවන්ට හොඳ කාලයක් පැමිණ තිබේ.
රන්ජන් අමරරත්න