හේ වෘත්තියෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙකි. රාජ්‍ය සේවයේ සහ මැදපෙරදිග අත්දැකීම් බහුල ඔහු, වසර ගණනාවක සිට පරිවර්තන කාර්යයෙහි නියැළෙන්නේය. 2024 වර්ෂයේදී ඔහු ග්‍රන්ථ හයක් පරිවර්තනය කළේය. පරිවර්තන සාහිත්‍ය පිළිබඳ ඔහු සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.
l ඔබ මෙතෙක් පරිවර්තනය කර ඇති සාහිත්‍ය කෘති මොනවාද?
මේ අවුරුද්දේ මම පරිවර්තන කෘති හයක් කළා. එයින් “වියැකි ජීවිත” විශේෂයි. ඒ 1994දී බුකර් සම්මානයට පාත්‍ර වුණු රොමේෂ් ගුණසේකරගේ Reef කියන ග්‍රන්ථයයි. එයට “වියැකෙන ජීවිත” කියලයි මම නම දැම්මේ. ඒකට හේතුව තමයි, එහි කතා කළේ විනාශ වෙලා යන කොරල්පර ගැනයි. කොරල්පරවල ඒක විසින්ම ජීවත් වෙන කොටසක් එහිම තියෙනවා. කොරල්පර යට කොටස හයියයි. ඒක පවතින්නේ එහි මතුපිට තියෙන ජීවත් වෙන කොටස හින්දයි. මිනිස් ජීවිතවලත් මෙවැනි ස්වභාවයට තියෙන කොටස් දෙක ගැන තමයි රොමේෂ් කතා කරන්නේ. ඒ වගේම මිනිස් ජීවිතවල බිඳෙනසුලු ස්වභාවයට සමපාත කරලයි ලියලා තියෙන්නේ.
“කමොගාවා” කියන්නේ ජපන් ලේඛකයකුගේ රහස් පරීක්ෂක පොතක්. ඒකෙ තියෙන්නෙ කෑම වට්ටෝරු සහ මිනිස් ජීවිතවල ආත්මීය ස්වභාවයයි. “මුරාටිගේ මරණය, බිඳුණු අතීතය, විසල් නුවරක ආදරය” මේවා තමයි අනෙක් ග්‍රන්ථ.
l ඔබ පරිවර්තන සාහිත්‍යයට යොමු වීමට විශේෂ හේතුවක් තිබෙනවද?
මම පළමුවෙන්ම 2019 “ශුකාන්” ලිව්වා. ඒක තමයි මගේ පළමු නිර්මාණාත්මක සාහිත්‍යය කාර්යය. ඒක මම මැදපෙරදිග වැඩ කරපු කාලයේ ලබපු අත්දැකීම් පාදක කරගෙන ලියපු මතක සටහන් ඇතුළත් ග්‍රන්ථයක්. ඒක ලියන්න හේතුව, මැදපෙරදිග ගිහින් ආවට පස්සේ අපේ සාහිත්‍යය තුළ මැද පෙරදිග ගැන කිසිවක් ලියවිලා නැති හින්දා ඒ ගැන යමක් ලියන්න මට ආසාවක් ඇති වුණා. මැදපෙරදිග අපේ මිනිස්සු ලක්ෂ විස්සක් පමණ වැඩ කරනවා. මේ අත්දැකීම් කවුරුන් හෝ ලියන්නේ නැත්තේ ඇයි කියලා මට හිතුණා. ඒ අනුව තමයි ශුක්‍රාන්ගේ කතාව ලියවුණේ. ඒකත් මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඒ ලියන කාලයේ පරිවර්තන කරනවා කියලා මට අදහසක් තිබ්බේ නෑ. හැබැයි මේක ලිව්වට පස්සේ තමයි මට සාහිත්‍යය ගැන ලොකු උනන්දුවක් සහ ආසාවක් ඇති වුණේ. ඒ උනන්දුවත් එක්ක මම සාහිත්‍යය ගැන හොයන්න පටන් ගත්තා. ඒ හොයාගෙන යද්දී ලිවීම ගැන මගේ උනන්දුව තවත් වැඩි වුණා. මම ඒක පුරුද්දක් කර ගත්තා. ක්‍රමයෙන් නොදැනීම ගොඩක් පාඨකයෝ ඒවටා එක්රොක් වුණා. ඔහොම ඉන්නකොට විදර්ශනා පොත් ප්‍රකාශකයෝ මට පොතක් පරිවර්තනය කරමු කියලා ආරාධනාවක් කළා.
2018 දී නොබෙල් ත්‍යාගය ලැබුණු “මරණයේ වරනැගුණු” කළා. මම දන්නවා මගේ පරිවර්තන රටාවට පාඨකයන් කැමැතියි. ඒ වගේම ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා පරිවර්තන කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා මම නිරායාසයෙන්ම ඒකට යොමු වුණා.
l පරිවර්තනයකදී මුදුන් මල්කඩ සේ සැලකෙන “භාෂාව” ඔබ හසුරවා ගන්නේ කොහොමද?
ඒක පරිවර්තකයාගෙන් පරිවර්තකයාට වෙනස් දෙයක්. මම උත්සාහ කරන්නේ මුල් ලේඛකයාගේ භාෂාවට, එයාගේ ශෛලියට, රටාවට හානියක් නොවන ආකාරයට ඒ ආකාරයටම පවත්වාගෙන යන්නයි. අපේ සාහිත්‍යය භාෂාව වඩාත් පොහොසත් නිසා, ලියාගෙන යද්දි වාක්‍ය මෙහෙම ලිව්වා නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා මේ දෙක අතරමැද තමයි භාෂාව සකස් කර ගැනීමේ අභියෝගය පැන නඟින්නේ. මෙහි පැති දෙකක් තියෙනවා. එකක් තමයි මුල් ලේඛකයාගේ භාෂාව අමතක කරලා අපේ භාෂාවෙන් ලිවීම. අනිත් කාරණේ මේ ලියන ලියවිල්ල සිංහල පාඨකයාට ගොඩක්ම සමීප විය යුතුයි.
l පරිවර්තනයකදී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ කුමන කාරණා ගැන ද?
සිංහල පොත්වල ස්වභාවය ගැන මට හොඳ අවබෝධයක් තිබුණා. එනිසා මගේ පළමුවැනි නිර්ණායකය තමයි, මගේ පොත තුළ අපේ සාහිත්‍යයේදී හමු නොවන ඉසව්වක් තියෙනව ද කියලා බලනවා. ඒ වගේම සාහිත්‍යයමය වශයෙන් ඒක කොයිතරම් උසස් නිර්මාණයක් ද කියලා බලනවා. අපේ සාහිත්‍යයටත් වඩා පහළින් තියෙන එකක් මම තෝරාගන්නේ නෑ. එනිසා අපට අලුතින් දෙයක් ගවේෂණය කරන්න පුළුවන් විදිහේ අලුත් තේමාවක්, අලුත් හැඩයක් තියෙන එකක් තෝරා ගන්න මම උත්සාහ කරනවා. ඒවගේම මෑත කාලයේ, පළවුණු, කිසියම් සම්මානයකට හෝ නිර්දේශයකට පාත්‍ර වුණු පොතක් තෝරාගන්නයි මම හැමවෙලේම උත්සාහ කරන්නේ.
l ඔබ සාහිත්‍යමය නිර්මාණයක් පරිවර්තනයේදී පෙර සූදානම් වන්නේ කොහොමද?
පළමුවෙන්ම මම තෝරා ගත් මුල් කෘතිය කියෙව්වාට පස්සේ, පොත කොච්චර හොඳ වුණත්, මේක කරන්න පුළුවන් හෝ කළයුත්තක් කියන හැඟීම මට අභ්‍යන්තරයෙන්ම එන්න ඕනෑ. එහෙම හිතුණට පස්සේ ඒ පොත සම්බන්ධයෙන් ලියවුණු විචාර, මිනිසුන් ඒ ගැන කතා කරලා තියෙන දේවල්
යනාදිය ගැන මම ගවේෂණයක් කරනවා. ඒ වගේම ලේඛකයාගේ පසුබිම සහ එයාගේ මතවාද ගැනත් හොයනවා. මේ ලේඛකයා හඳුනාගන්න මම උත්සාහ කරන්නේ එයාගේ නිර්මාණය තුළ තියෙන භාෂාවෙන්. ඇතැම් මුල් කෘතිවල කෑම, සත්තු, පරිසරය යනාදිය අපට පුරුදු නෑ. ඒ නිසා සංස්කෘතිකමය වශයෙන් ගවේෂණයක් කරන්නත් සිදුවුණා.
l භාෂා දෙකක් දන්නවා නම්, පරිවර්තනය එතරම් අමාරු දෙයක් නෙවෙයි කියලා ඇතැමුන් කියනවා. ඔබේ පිළිතුර කුමක්ද?
මම ඒකට එකඟ වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි පරිවර්තකයා භාෂා දෙකක් පමණක් දැනගෙන මේ වැඩේට ප්‍රමාණවත් නෑ කියනදේ. කෘතියක තේමාව, යටි පෙළ අර්ථය, සමාජ – සංස්කෘතිය යනාදී පොතේ තියෙන බොහෝ දේවල් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනෑ. සාමාන්‍ය පාඨකයාට වඩා එහා ගිය අවස්ථාවක් පරිවර්තකයාට තියෙන්න ඕනෑ. පරිවර්තනය කියලා කියන්නේ කියන්න පුළුවන් උපරිම සමීපභාවයකින් කියවීමයි. ඒ කියන්නේ, වඩා සමීප කියවීමක් පරිවර්තකයාට හැර වෙනත් කාටවත් කරන්න බෑ කියලයි.
l සාහිත්‍යයෙන් යම් සමාජයක් සුවපත් කළ හැකි ද?
ඔව්. මම විශ්වාස කරනවා එහෙම කරන්න පුළුවන් කියලා. පොතක් පරිවර්තනය කළ පමණින් ඒ දේ සිදුවෙන්නේ නෑ. ඒ නිසා අපි අඛණ්ඩව වැඩ කළ යුතුයි. පොතක් පරිවර්තනය කරලා අවසන් වුණාට පස්සේ මම පාඨකයාට සමීප වෙන්න, මගේම ක්‍රමවේද පාවිච්චි කරනවා. පොත පරිවර්තනය කරලා වෙළෙඳපොළේ තිබ්බ පමණින් මේ කාර්යය සිදු වෙන්නෙත් නෑ. මෑත කාලයේ දිහා බැලුවාම, කියවීමේ අඩුවකුත් පේනවා. සාහිත්‍යයට සමාජය සුවපත් කිරීමේ හැකියාව තිබුණාට, එය අවශ්‍ය පිරිස අතරට ගමන් කරන්නත් ඕනෑ.
ශ්‍යාමා සමරසිංහ