මෙවර මහමැතිවරණය ඡන්දය පිළිබඳ කතාවක් නොව කතිර සැණකෙළියකි. එය මුල සිටම උදම් රළක් සේ වටපිට ශුද්ධ කිරීමට පටන් ගත්තේය. පෙර පාර්ලිමේන්තුවේ සිටි දශක ගණනාවක් දේශපාලනය කළ ඇමැතිවරුන් ඡන්දය නොඉල්ලන තීන්දුව ගත්තේ මැතිවරණයට පෙරය. තමන්ගේ ආසනයට, තම පක්ෂයේ අපේක්ෂකයකු නොදන්වා පැමිණියේ නම්, එතැන ද ආරෝවක් ඇති කරගන්නා තරමට බලයෙන් මත්ව රැඟූ පිරිස මේ ආකාරයට කල්තියාම දේශපාලනයෙන් සමුගන්නා ලද්දේ, බලය පිළිබඳව බලාපොරොත්තුව සුන්ව ගොස් ඇති බව ඉවෙන් දැනගෙනය. සුද්දය පටන් ගත්තේ ඡන්දයට පෙර සිට හෙයින් ප්‍රතිඵලය පැහැදිලි විය. අඬා දොඩා වැලපී ඡන්දය ඉල්ලා සිටින තරමේ රංගන, මැතිවරණ වේදිකාවට පිවිසෙන්නේ ඒ අනුවය.
දෙන එක ඇඬෙන්නම දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සිය වේදිකාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිය දේශපාලන ජයග්‍රහණය සඳහා පමණක් නොව ඒ ආකාරයේ ජයග්‍රහණයක් ලබාදෙන කල්හි වල් පැළෑටි ද සුද්දවීම නියත හෙයිනි. ජනතා අපේක්ෂාව පල දරන ලද්දේ බූදලයක් සේ තාන්න මාන්න හි එල්ලී සිටි බොහොමයක් දෙනා පැත්තකට වී බලා සිටින කාලයක් නිර්මාණය වීමෙනි. වෙනදා රංචු ගැසී මනාප සඳහා පොරකන විට, රටේ ඔප්පුව තමන් අත යැයි සිතා මහන්තත්ත්වයෙන් කල් ගෙවනවිට, නොතේරුණු සත්‍යය දැන් පොල්ලෙන් ගැසුවා සේ මේ පිරිස වෙත සමාජය කියා දී තිබේ. මේ වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් ජය කණුවක් අප පසු කර ගිය ආකාරයය.
පක්ෂ සියල්ලේම රිද්මය වී තිබුණේ පසල්දනව්වෙහි හිමිකරුවන් සේ, එක් එක් ආසනය සඳහා වූ අයිතිය පරම්පරාවෙන් හෝ එක් දිගට ආසනය රැඳුණු කෙනා වෙත ලබාදීමය. කොයිතරමේ දුර්වලතා පෙන්නුව ද ඒ පුද්ගලයාගේ ආරක්ෂකයා ලෙස පක්ෂය ක්‍රියා කළේය. මේ හේතුව අවසානයේ ක්‍රියා කරන ලද්දේ ගම්මුලාදෑනියා සේ ගමේ මන්ත්‍රීවරයා, ප්‍රභූගත වීමය. ඡන්දයෙන් බලය තීරණය කරන සමාජයක එවන් ප්‍රභූවරුන් ඇත්තේ නැත. ජනතා පරමාධිපත්‍යය වසර පහකට ලබා දෙන්නේ, ඉල්ලාගෙන කෑමට නොවන බව දැන සිටියත්, මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනතාවට පොටක් හමුවූයේ නැත. මේ නොවැම්බරය ඒ වෙනස සඳහා පොට කරකවා ගත් සමය විය.
කලින්ම ඡන්දයට නෑවිත් පණගිය පිරිස සහ මෙවර පැරදුණු පිරිස ගත් විට, සෑහෙන පමණ සුද්දයක් ලැබී ඇති බව කිව හැකිය. ජාතික ජන බලවේගය ලබාගත්, තුනෙන් දෙකේ බලයට වැඩි, ආසන සංඛ්‍යාව තුළ ගැබ් ඇත්තේ, මේ ආකාරයට එක් කල්ලියක වහලුන් සේ අප ගෙවා දමන ලද යුගය නිමා කිරීමේ ආනන්දයය.
සමහරු දැන් ඇහැරී තිබෙනවා විය හැකිය. අර්ථකථන ලබා දෙනවා විය හැකිය. ඒ සියල්ලට ඉහළින් කියවාගත යුත්තේ, බමුණු කුලය බිඳවැටීම සඳහා මෙම ජයග්‍රහණය ලබාදුන් දායකත්වයය.
දේශපාලනය යනු අංක ගණිතය නොවේ. සියයට තුන, තිහක් වන්නේ කෙසේදැයි සමහරු අසන ලද්දේ ජනාධිපතිවරණයට පෙරය. මහමැතිවරණයෙන් 61.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අන්දම විග්‍රහ කළ හැක්කේ ගණිතයෙන් නොව දේශපාලනයෙනි. මේ වනාහි මේ රටේ දේශපාලන ඉතිහාසයේ ලබන ලද ඉහළම ජයග්‍රහණයයි. එක් අතකට ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ජනතාවගේ තිබූ ඉහළ බලාපොරොත්තුව මේ ඉලක්කමේ සටහන්ව තිබේ. අනික් අතට පැරණි ක්‍රමයේ එපා වීමය. ඕනෑකම සහ එපාවීම යන්න, එකට මුහුවී මේ ලබාගත් ප්‍රතිඵලය, සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ විප්ලවයකි.
ඉතිහාසගත වාර්තා රාශියක් මේ මැතිවරණයේදී පිහිටුවන ලද්දේ, ඕනෑකම සහ එපාකම යන දෙකේ ඓක්‍යය මතය.
“අප මරා දැමුවද අප නැඟූ හඬ සදා නොමැෙකනු ඇත” යැයි විජේවීරයන් එදා කළ ප්‍රකාශය සාහිත්‍ය රසයෙන් ඔබ්බට යනු ඇතැයි විශ්වාස කරන ලද්දේ ස්වල්ප දෙනෙක් පමණය. ලෝක වාමාංශයේ ඇදවැටීම ආදිය ද ගත් කල, යළි මේ රටේ විජේවීර නාමයක් නොඇසෙන බවට ලකුණු ඕනෑතරම් විය. ඒ සියල්ල පසෙකලූ මිනිස් කවයක්, සිය දේශපාලනය ඉදිරියට ගෙන ගියේය. ඔවුහු නව මුවහතක් එයට එක් කළහ. මේ පොළොවේ උපන් පරපුරේ ධෛර්යය සහ ශක්තිය එහි ගැබ්ව තිබුණේය. අනවරතව ලක්වූ ආකෝෂ පරිභව ඉදිරියේ පක්ෂය සහ සිය යන්ත්‍රණය පවත්වාගෙන යමින්, ඔවුහු සිය මතය මත්තේම හුන්හ.
දිස්ත්‍රික් මට්ටමින් 141ක් හා ජාතික ලැයිස්තුවෙන් 18ක් වශයෙන් මන්ත්‍රී ධුර 159ක් දිනාගෙන, මේ රටේ දේශපාලනයේ ඉහළම වර්තාව ජනතාව, ජාතික ජන බලවේගයට ලබා දෙන්නේ ඒ අනවරත ක්‍රියාදාමයේ ඕනෑකම, මහ පොළොවට දැනුණ නිසාය. අනික් අතට පුද්ගලානුබද්ධ දේශපාලනයේ එපාකම ද පෙන්නුම් කළ යුතු නිසාය.
මේ වනාහි දේශපාලන ව්‍යාපාරයක ජයග්‍රහණයකි. පුද්ගලයාගේ රාජ යෝගය මත්තේ රටක ඉරණම රඳා පැවතුණු කාලය දැන් අවසන්ය. තනි පුද්ගල රූපය, පෞරුෂය පරදා, ව්‍යාපාරයක හැඩරුව සඳහා ජනී ජනයා සිය කැමැත්ත ප්‍රදානය කරන ලද්දේ පටු චිත්‍රය මත්තේ ඇති එපාකම සහ පළල් දේශපාලනයේ ඕනෑකම ඉහළට ගෙනය.
ඕනෑකම සහ එපාකම එකට හමුවූ මේ විජයග්‍රහණය සඳහා තවත් කියවීම් සහ ක්‍රියාකාරීත්වයන් දැන් අවශ්‍යය. හෙට දවස යනු ඒ ජයග්‍රහණයේ පල විඳීම සඳහා වැඩ කළ යුතු සමයය. එහෙයින් නිකරගුවාවේ ඩැනියෙල් ඔටේගා ප්‍රකාශ කළ පරිදි “සමාජය, විප්ලව නොකරන්නේ නම් යටත් විජිතවාදය යළි පැමිණෙනු ඇත” යන්න අනුව මේවගේ දිගටම ක්‍රියාශීලි වීම අත්‍යවශ්‍යය යන අවධාරණය, දිනමිණ ජනතාව වෙත සිදු කරන්නේය.