ලංකා මැණික් පතල්කරුවන්ගේ සුභසාධක සංගමය සහ සිංහ ඔක්ෂන්ස් පෞද්ගලික සමාගම ඒකාබද්ධව ජාත්‍යන්තර මැණික් වෙන්දේසි මාලාවක් කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙරට මැණික් වෙළෙඳාමේ නියැළී සිටින වෙළෙඳුන්ට සහ මැණික් ගැනුම්කරුවන්ට මෙන්ම මැණික් පතල්කරුවන්ටද තම මැණික් සඳහා ජාත්‍යන්තර ඉහළ මිලක් ලබාගැනීමට අවස්ථාව උදා කිරීම මේ වෙන්දේසි මාලාව පැවැත්වීමේ අරමුණ වී තිබේ.
කොළඹදී පැවැත්වීමට සංවිධාන කරනු ලබන මේ මැණික් වෙන්දේසි මාලාවේ පළමුවැන්න ලබන මස 13 දා කොළඹ රාමඩා හෝටලයේදී ප.ව. 2.00 ආරම්භ වෙයි. දෙවැන්න ලබන වසරේ ජනවාරි 5 දා ප.ව. 2.00ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී පැවැත්වීමට නියමිතය.
කපා ඔප දැමූ සහ රළු මැණික් මේ වෙන්දේසියේදී අලෙවි කිරීමට බලාපොරොත්තු වෙයි. මේ වෙන්දේසි සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර මැණික් වෙළෙඳුන් සහ ඒ ආශ්‍රිතව කටයුතු කරන ලොව පිළිගත් බොහෝ පිරිස් සහභාගි වන බවට දැනටමත් දැනුම් දී ඇතැයි සංවිධායකයෝ පවසති. වෙන්දේසියෙන් ලබන ආදායමෙන් කොටසක් ලංකා පතල්කරුවන්ගේ සුභසාධක සංගමයේ සාමාජිකයන්ගේ සුභසාධනය පිණිස යොදවනු ලැබේ.