රුපියල් මිලියන 1650කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල නෞකාව යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙනවිත් සිදු කළ වැඩිදුර පරික්ෂාවේදී, උර හයක් තුළ (06) පාර්සල් හැටක (60) අසුරා තිබූ රුපියල් මිලියන 1650 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම ඊයේ (15) ගාල්ල වරායේදී සිදු කෙරිණි.
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම උදෙසා සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්ෂණ කටයුතු සිදුකරනු ලබන නාවික හමුදාව සාගරය ඔස්සේ සිදු කෙරෙණ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල නෞකාව යොදවා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය සහිත උර හයක් (06) සොයා ගැනීමෙන් පසු, එම බහුදින ධීවර යාත්‍රාව එහි සිටි සැකකරුවන් හය දෙනෙකු (06) සමඟ 2024 නොවැම්බර් මස 14 වැනි දින නාවික හමුදා භාරයට ගෙන, වැඩිදුර පරික්ෂාව සඳහා ඊයේ (15 දින) උදෑසන ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව ධීවර යාත්‍රාවේ සිදු කළ වැඩිදුර පරික්ෂාවේදී, එම ධීවර යාත්‍රාවේ උර හයක් තුළ (06) පාර්සල් 60 ක අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840ක තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 1650කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 18ත් 34ත් අතර වන මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හයදෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම උදෙසා විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටුදැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නායකත්වය හා මඟපෙන්වීම මත, 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 17483කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.