බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිදු කළ හදිසි පරීක්ෂාවේදි කුඩු සලිඳු, වෙලේ සුදා, ඇපල් ශාන්ත, මාකිලංගමුවේ සංජීව ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් රඳවා සිටි සිරමැදිරි අසල මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන ඇතුළු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායෙන් නිලධාරීන් පිරිසක් විසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ කොටසේදී හදිසි පරීක්ෂාවක් සිදු කර ඇත. එහිදී සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සලිඳු, සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, සංජීව කුමාර සමරරත්න නොහොත් මාකිලංගමුවේ සංජීව ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් රඳවා තබන සිර මැදිරි ආසන්නයේ තිබී මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන ඇතුළු උපකරණ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ජංගම දුරකතන 3ක්, සිම්පත් 6ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක්, අයිස් මත්ද්‍රව්‍ය මි.ග්‍රෑ. 200ක්, ගංජා මි.ග්‍රෑ. 800ක්, දුම්කොළ කැබලි 8ක් හා දුරකතන උපාංග ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බූස්ස බන්ධනාගාර කඳවුරේ කඳවුරු අණ දෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එල්.සී. උභයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.