හෝමාගම, ගලවිලවත්ත, සිල්ඩෝරාවත්තේ නිවෙසකදී බදාදා (13) රාත්‍රියේ තරුණයකුට ටී56 අවියකින් වෙඩි තබා පලායෑමේ සිදුවීමේ වෙඩික්කරුවන් පැමිණි සීටී100 වර්ගයේ යතුරුපැදිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් හෝමාගම ප්‍රදේශයේදී පෙරේදා (14) අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර වෙඩි වැදීමෙන් පපුවේ දකුණු පසට වූ බරපතළ තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ 54 හැවිරිදි ව්‍යාපාරිකයකු ශල්‍යකර්මයකට ලක්කොට නේවාසිකව ප්‍රතිකාර ලබන බව හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි. හෝමාගම, ගලවිලවත්ත රෝහල පාරේ පිහිටි මහා පරිමාණයෙන් ගරාජයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයාගේ සිල්ඩෝරාවත්තේ පිහිටි නිවෙසට පෙරේදා (14) රාත්‍රී 11.30ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණ මොහුගේ නම පවසා කතා කර තිබේ. ඒ අනුව වසා තිබූ දොර විවෘත කරගෙන ඉදිරියට එනවාත් සමඟම මිදුලේ රැඳී සිටි දෙදෙනකුගෙන් අයකු අත තිබූ ගිනි අවියකින් දිගට හරහට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලීසිය පවසයි. එහිදී නාඳුනන තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාර 15ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් උණ්ඩ අටක් පත්තු වී ඇති බවටත්, උණ්ඩ හතක් පුපුරා ගොස් නැති බවටත් කරුණු අනාවරණය වන බව පොලීසිය සඳහන් කරයි. එසේ පුපුරා නොගිය ටී56 වර්ගයේ උණ්ඩ 7ක් සිද්ධිය වූ ස්ථානයේ තැන තැන වැටී තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමඟම තුවාලකරු ක්ෂණිකව දොර වසාගෙන කාමරයට දිව ගොස් ඇති අතර, එහිදී ඔහුගේ පපුවේ දකුණු පසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි. සිද්ධිය වන අවස්ථාවේ තුවාලකරුගේ බිරිය කාමරය තුළ රැඳී සිට ඇති අතර, ඇයට කිසිදු අනතුරක් වී නැත. සිද්ධියෙන් පසු තුවාලකරු වහා හෝමාගම මූලික රෝහලට රැගෙන යෑමෙන් දිවි බේරාගැනීමට හැකිව ඇති බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර, විශේෂ කාර්ය බළකාය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම පොලිස් වසමේ හෝමාගම ආසිරි මාවතේදී කළ වැටලීමකදී යතුරුපැදිය හා සැකකරුවන් පැලඳගෙන පැමිණි හිස්වැසුමක්, සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස්. ජයමහ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල මහතාගේ නියෝග සහ හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්රණත් මානවඩු මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රිය ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන්, පො.ප. චානක සඳරුවන්, උ.පො.ප. චන්ද්‍රපාල, උ.පො.ප ජගත් පො.සැ. (60152) සමීර, (23893) බණ්ඩාර පො.කො. (92504) රොෂාන් ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.