Wednesday, April 9, 2025
Home » ඔලිම්පික් කමිටු මහ‍ලේකම් – සභාපති ගැටුමේ ඇත්ත හෙළි වන මහා සභාව 13 දා

ඔලිම්පික් කමිටු මහ‍ලේකම් – සභාපති ගැටුමේ ඇත්ත හෙළි වන මහා සභාව 13 දා

ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තා‍වෙන් මැක්ස්වෙල් එළියට දාන්න කියා නෑ - අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු

by sachintha
November 15, 2024 2:10 am 0 comment

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා හා එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා අතර මතුව තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අදහසින් ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහා සභාව ලබන මස 13 දා පැවැත්වෙයි. මේ අතර ඔලිම්පික් සභාපති හා මහ ලේකම් එක්ව වැඩ නොකිරීම බරපතළ ගැටුමක් බැවින් කඩිනම් නිලවරණයක් පැවැත්විය යුතු බව ක්‍රීඩා සංගම් බහුතරයක මතයවී තිබේ.

විධායක කමිටු‍‍වේ සාමාජිකයන් 13න් සාමාජිකයන් 9ක් වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව සාමාජිකයන් දැනුම්වත් කරන ලෙස ඉල්ලීමක් කර තිබියදී ක්‍රීඩා සංගම් 33න් 16ක් පවසා ඇත්තේ කඩිනමින් නිලවරණයක් පැවැත්වීම වැදගත් බවය.

මේ අතර ඔලිම්පික් කමිටු මහා ලේකම්වරයා නෙරපිය යුතු බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම සාවද්‍ය බව ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඔලිම්පික් ආචාර ධර්ම කමිටු වාර්තාවක් අනුව ඔලිම්පික් මහ ලේකම්වරයා නෙරපිය යුතු බවට කරන ප්‍රකාශ පිළිබඳ එම මාධ්‍ය නිවේදනය මඟින් පැහැදිලි කිරීමක් කර තිබිණි.

පසුගිය ඔක්තෝම්බර් 1 වැනි දින පැවති විධායක මණ්ඩල රැස්වීමේදී, ආචාර ධර්ම කමිටු වාර්තාව කිසිදු විධිමත් පරීක්ෂණයකින් තොරව ඉදිරිපත් කර ඇති බැවින් විධායක කමිටු‍‍වේ සාමාජිකයන් එම වාර්තාවට එකඟ නොවන බව දැනුම් දී ඇත. ආචාර ධර්ම කමිටුව තමන් පරීක්ෂණයක් සිදු නොකොට වෙනත් ආයතනයක් කළ පරීක්ෂණ වාර්තාවක් පදනම් කර ගැනීම පිළිගත නොහැකි බව එම විධායක කමිටු සාමාජිකයන්ගේ මතය වේ.

මේ පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටු උප ලේකම් වින්ග් කමාන්ඩර් චන්දන ලියනගේ මහතා‍ගෙන් කළ විමසීමකදී පැවසුවේ විධායක සභාවේ කිසිවකු හෝ ඉවත් කිරීමට අවශ්‍ය නම් ව්‍යවස්ථානුකූලව පිළිගත් ක්‍රමවේදයක් පවතින බවය. එක් එක් අයගේ පෞද්ගලික අවශ්‍යතා මත කටයුතු කිරීමට නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

“පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු කළ කතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව සිදු කළ පරීක්ෂණ වාර්තාවක් ආචාර ධර්ම කමිටුවට ලබාදී තිබෙනවා. නමුත් අපි පත් කළ ආචාර ධර්ම කමිටුවෙන් ඉල්ලීමක් කළා පරීක්ෂණයක් කරන ලෙස. ඔවුන් එය අද වනතුරු කරලා නෑ. ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක් ගැන කියනවා. මැක්ස්වෙල් වරදක් කරලා ති‍යෙනවා නම් ඒක සොයන ක්‍රමයක් තියෙනවා. ව්‍යවස්ථාවට පිටින් යන ක්‍රම අපි පිළිගන්නේ නෑ” චන්දන ලියනගේ මහතා‍ පැවැසීය.

මේ සම්බන්ධයෙන් විවිධ මත පළ වුවද එය සිදු කළ යුත්තේ ඔලිම්පික් කමිටුවේ මහා සභාවේ සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

මෙ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා‍ගෙන් කළ විමසීමකදී පැවැසුවෙ ජාතික ඔලිම්පික් කමිටුවේ කිසිදු නිලධාරියකු ඉවත් කළ යුතු බවට තම අමාත්‍යාංශ‍යෙන් නිර්දේශයක් කර නැති බවය.

“මේක දැන් වසරක් විතර පරණ කතාවක්. ඒ වෙලාවේ හිටපු ඇමැතිතුමා කිව්වේ නිලධාරීන් සමඟි‍යෙන් වැඩ කරන ලෙසයි. ප්‍රශ්න විසඳාගෙන ගමනක් යන ලෙස උප‍දෙස් දුන්නා. නිර්දේශ 12කින්ම පෙන්වා දී තිබුණේ ඔලිම්පික් සභාපති හා මහලේකම් අතර ඇති අසමඟිය නැති කරන දේ පිළිබඳවයි. කවුරුත් ඉවත් කරන්න අපි කියලා නෑ. එහෙම ගෙන යන ප්‍රචාර වැරදියි” ප්‍රනාන්දු මහතා‍ පැවැසීය.

මතුව ඇති තත්ත්වය මත ඔලිම්පික් කමිටුව විසුරුවා ඉක්මන් නිලවරණයක් පැවැත්වීමට කටයුතු කළහොත්, වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට යළි සභාපති තනතුරට ක්‍රීඩා රෙගුලාසි අනුව නාමයෝජනා ලබාදිය නොහැක. ඒ මහතා අවස්ථා දෙකකදී සභාපති ලෙස කටයුතු කර ඇති බැවින් යළි එම තනතුරට නාමයෝජනා ලබාදීමේ නීතිමය බාධා මතුව තිබේ. එහෙත් ක්‍රීඩා රෙගුලාසි අනුව ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට සභාපති තනතුර වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. මෙවැනි වටපිටාවක් නිර්මාණයවී තිබියදී මහ ලේකම් – සභාපති අතර ආරවුල් හටගැනීම ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි කටයුතුවලට බාධාවක් බව ක්‍රීඩා සංගම් ප්‍රධානීහු පවසති.

 

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT