මහමැතිවරණය පැවැති ඊයේ (14) මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 51 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. අපේක්ෂකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව හා කල්පිටියෙනි. එක් අපේක්ෂකයකු මුදල් බෙදීමට ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනෙක් අපේක්ෂකයා නීති විරෝධී ලෙස ප්රචාරක කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඡන්ද පත්‍රිකාව ඉරා දමමින් සහ එම පත්‍රිකාව ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් පස්දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ඡන්ද මධ්‍යස්ථාන තුළ කලහකාරී ලෙස හැසිරෙමින් මැතිවරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි ද වාර්තා වෙයි.
ඡන්ද මධ්‍යස්ථානය තුළට ජංගම දුරකතනය රැගෙන නොඑන ලෙසට මැතිවරණ නිලධාරීන් කළ දැනුම් දීමට උරණ වූ ගාල්ල අක්මීමණ, හියාරේ ප්‍රදේශයේ පදිංචි අයකු සිය ඡන්ද පත්‍රිකාව ඉරා දැමීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේය.
අම්බලන්ගොඩ, මීටියාගොඩ, බේරතුඩුව කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය දැමීමට පැමිණි පුද්ගලයකු මැතිවරණ නිලධාරීන් ඉදිරියේ ඡන්ද පත්‍රිකාව කෑලි කෑලිවලට ඉරා දැමීම සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ද ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් සමඟ ඇතිවූ බහින්බස් වීමකින් පසු ඡන්ද පත්‍රිකාව ඉරා දැමීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර, සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කළ පුද්ගලයන් දෙදෙනකු ද බේරුවල ඡන්ද මධ්‍යස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර පොලීසිය පවසයි.
සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් ලබාදීම, ඡායාරූප ලබාගැනීම සහ පහරදීම් සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිදුවීම් 33කට අදාළව අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත.
රාජකාරියේ නියුතුව සිටි නිලධාරියකුව අදාළ කටයුතුවලින් ඉවත් කිරීමට සිදුවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයකුට උදවු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පැවසූ දෙයට පටහැනිව වැරදි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ, නිමන්ති රණසිංහ