Tuesday, April 8, 2025
Home » මඩපාත ඡන්ද මධ්‍යස්ථානයකදී ස්ථානාධිපතිනිය මියයයි

මඩපාත ඡන්ද මධ්‍යස්ථානයකදී ස්ථානාධිපතිනිය මියයයි

by sachintha
November 15, 2024 1:16 am 0 comment

කැස්බෑව, මඩපාත, පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී හදිසියේ රෝගී වී පෙරේදා (13) රාත්‍රී හදිසියේම මියගිය බව කැස්බෑව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක වූ පයාගල, ඉඳුරුවගොඩ, කෝපිවත්ත පදිංචිව සිටි ලියනගේ චාමිකා රුවනි ලියනගේ (48) මෙණෙවියයි.

මියගිය එම නිලධාරිනිය ඊයේ (13) රාත්‍රී තවත් නිලධාරිනියන් දෙදෙනකු සමඟ භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටියදී රාත්‍රී 8.30ට පමණ හදිසි රෝගී තත්ත්වයක් මතුව ඇති අතර අනෙකුත් නිලධාරිනියන් 1990 සුව සැරිය ගිලන් රථයට දැනුම් දී එය පැමිණෙන තෙක් බලා හිඳ ඇති බව පොලිසිය කියයි.

එම ගිලන් රථය පැමිණීම ප්‍රමාද බැවින් එහි සිටි පොලිස් නිලධාරියා පොලිස් ජංගම සංචාරක රථයට දන්වා එය එම ස්ථානයට ගෙන්වා කෘතිම ශ්වසනය ලබාදෙමින් පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කරන විටත්, ඇය මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මියගිය නිලධාරිනිය යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිළියන්දල දිසා රෝහල වෙත පැමිණි කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස පොලිසියට නියම කළේය.

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ සහ

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT