ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ බෞද්ධ ආගමික පූජෝත්සවය දිනයන්හි දී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පසුගිය 11 වැනි දා පස්වරුවේ මල්වතු මහාවිහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක මාහිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහාවිහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක මාහිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
ශ්‍රී දළදා වහන්සේ උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පූජා කිරීම ද සිදුකළ අතර පසුගියදා (12) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා 73 නමක් උදෙසා පිරිනමනු ලැබූ අෂ්ටපරිෂ්කාර සපිරිකර සාංඝික මහා දානමය පින්කම සඳහා ද සහභාගි විය.
මෙම බෞද්ධ ආගමික උත්සවයට සමගාමීව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත අස්ගිරි මල්වතු විහාස්ථානයන්හි වැඩවසන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් හා ශ්‍රී දළදා මාලිගාවේ සියලුම සේවක මහතුන් වෙනුවෙන් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂකය පවත්වන ලදි.
ගුවන් හමුදා සුබසාධක අධ්‍යක්ෂක කාර්යාලය විසින් සංවිධානය කළ මෙම බෞද්ධ ආගමික පූජෝත්සවයේ දී තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව උදෙසා දිවිපිදූ ගුවන් හමුදා රණවිරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ හා සක්‍රිය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා සේවා පුද්ගලයින් හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශීර්වාද කිරීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා මියගිය ගුවන් හමුදා රණවිරු පවුල්වල සාමාජිකයෝ පිරිසක් ද සහභාගි වූහ.
මහින්ද අලුත්ගෙදර