Home » මිලියන 589ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමයක් හඳුන්වාදෙයි

මිලියන 589ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමයක් හඳුන්වාදෙයි

by sachintha
November 15, 2024 1:55 am 0 comment

ලෝක බැංකු මූල්‍ය ආධාර මත කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 589ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම හඳුන්වා දී තිබේ.

මෙම ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වයඹ, උතුරු මැද, උතුර, නැඟෙනහිර, දකුණ සහ ඌව යන පළාත් 06ක දිස්ත්‍රික්ක 11ක දේශගුණ විපර්යාසවලට දැඩිව පාත්‍ර වන ගොවිජන සේවා බලප්‍රදේශ 47ක් තුළ තෝරාගත් ගොවීන් 3787 දෙනකුට හඳුන්වා දීම සිදු කෙරේ.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම ලෙස ගැනෙන විසිරුම් ජල සම්පාදන පද්ධති, බිංදු ජල සම්පාදන පද්ධති සහ මයික්‍රො ජෙට් පද්ධති, වයඹ පළාතේ ගොවින් 549 කටද , උතුරු මැද පළාතේ ගොවීන් 840 කටද , උතුර පළාතේ ගොවීන් 693 කටද, නැගෙනහිර පළාතේ ගොවීන් 502 කටද, ඌව පළාතේ ගොවීන් 691 කටද සහ දකුණු පළාතේ ගොවීන් 512 කටද මේවන විටත් සපයා ඇත.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිතයෙන් භෝගයට අවශ්‍ය වන ජල ප්‍රමාණය භෝගයේ මූල මණ්ඩලය අසලට නිසි කාලාන්තර තුළදී ලබාදීම සිදු වෙයි. ව්‍යාපෘති බලප්‍රදේශවල ජල සම්පත ඉතා සීමිත බැවින්, ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති භාවිතයෙන් අවම ජල ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිවන අතර භෝගයට පොහොර යෙදීමේදී ජල සම්පාදන පද්ධතිය මඟින්ම සිදු කර ගැනීමේ පහසුව ද ගොවීන් වෙත සැලසෙනු ඇත.

එසේම ගොවීන්ට වසර පුරා භෝග වගා කිරීමේ හැකියාව ලැබෙන අතර අවාරයේ වගා කිරීමෙන් වැඩි ආදායමක් ලබා ගැනීමටද හැකිවේ. දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මඟින් මේ වන විට කෘෂි ළිං 1142ක් ප්‍රතිසංස්කරණය කර ඒ යටතේ හෙක්ටයාර 1112ක බිම් ප්‍රමාණයක භෝග වගා කර ඒ තුළින් මෙට්‍රික්ටොන් 3082ක අස්වැන්නක් ලබා ගැනීමට සමත් වී ඇත. වගා බිම් තුළ සූර්ය බල ජල පොම්ප භාවිතයෙන් විසිරුම් හෝ බිංදු ජල සම්පාදන පද්ධති ස්ථාපිත කිරීමද ව්‍යාපෘතිය මඟින් සිදු කරන අතර එමඟින් වායුගෝලයට හරිතාගාර වායූන් මුදා හැරීම අවම වේ. සූර්ය බල ජල පොම්ප භාවිතයෙන් ඉන්ධන සඳහා යන වියදම මඟහැරීම ගොවීන් වෙත සැලසෙන තවත් වාසියකි.

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියෙන් ආවරණය වන ප්‍රදේශයන්හි හෙක්ටයාර 707ක වගා බිම් ප්‍රමාණයක ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිත කර භෝග වගා කිරීම මේ වනවිට සිදුවේ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT