මඩාටුගම, කැකිරාව සහ ඒ අවට ගම්මානවලට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදා හැරි පුද්ගලයකු හෙරොයින් මත්කුඩු පැකට් 25ක් සමඟ අත්අඩංගුවට ගත් බව මඩාටුගම පොලීසිය පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සූරියගම හන්දිය, මහ ඇළගමුව, කැකිරාව ප්‍රදේශයේ පදිංචි, ‘කුඩු ලොක්කා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ 35 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු, මඩාටුගම සහ ඒ අවට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදා හරින බවට, මඩාටුගම පොලිසියේ ස්ථානාධිපති රංජන් අබයවංශ මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3,220ක ප්‍රමාණයක් සැකකරු සූක්ෂ්ම ලෙස කැබලි 25කට අසුරා සඟවාගෙන සිටියදී කැකිරාව කයිලපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වා කුඩා කැබලිවලට සකසා අවට ගම්මානවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස් වෙත බෙදා හරින බවත්, ඒ සඳහා යොදා ගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
අනුරාධපුර සංචාරක බී.ජී. චතුරංග