Monday, April 21, 2025
Home » අමෙරිකාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂ ධුරයට හින්දු ආගමික කාන්තාවක්

අමෙරිකාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂ ධුරයට හින්දු ආගමික කාන්තාවක්

by sachintha
November 15, 2024 1:02 am 0 comment

අමෙරිකාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ප්‍රධානතම තනතුරක් වන එරට බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ධුරයට 43 හැවිරිදි කාන්තාවක් පත් කිරීමට අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කලක් අමෙරිකාවේ අතිරේක හමුදා අංශයේ ලුතිනන් කර්නල්වරියක ලෙස කටයුතු කර ඇති තුල්සි ගැබාර්ඩ් නමැති මේ කාන්තාව දකුණු පැසිෆික් කලාපයේ පිහිටි සැමෝවා දේශයේ සම්භවයක් සහිත පවුලකින් පැවත එන බවත්, ඇගේ මවුපියන් හින්දු දහම වැලඳගැනීමෙන් පසු දරුවන්ට හින්දු නම් තැබීම නිසා ඇයට ‘තුල්සි’ නම ලැබී ඇති බවත් වාර්තා වේ.

මීට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු කොංග්‍රස් සාමාජිකාවක වූ ඇය මෙවර ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට සහාය පළ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දුන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකානු හමුදා බළඈණියේ සාමාජිකාවක ලෙස ඉරාකයේ මෙහෙයුම් සඳහා සහභාගි වී ඇති තුල්සි ගැබාර්ඩ් ඇගේ හමුදා ජීවිතය තුළ බුද්ධි මෙහෙයුම් කටයුතු සඳහා දායකත්වය සැපයීමෙන් කීර්තියට පත්ව සිටි බව ද වාර්තා වේ.

ඉදිරියේදී ඇය ධවල මන්දිරයේ ප්‍රධාන බුද්ධි උපදේශක ලෙස ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ ජෝන් රැට්ක්ලිෆ් සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි ද, එරට බුද්ධි සේවා හා සංවිධාන 18ක කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම දරනු ඇතැයි ද වාර්තා වේ. බුද්ධි තොරතුරු හා ආරක්ෂක තත්ත්වය මත පදනම් වූ කරුණු නව ජනාධිපතිවරයාට දෛනිකව වාර්තා කිරීම සඳහා සෑම උදෑසනකම පැවැත්වෙන බුද්ධි තොරතුරු සමාලෝචනය ඇය විසින් සිදු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2002 වසරේදී දේශපාලනයට පිවිසි තුල්සි වසර 2013 සිට 2021 දක්වා හවායි දිස්ත්‍රික් කොංග්‍රස් නියෝජිතවරියක ලෙස කටයුතු කර ඇති අතර, කොංග්‍රසයට තේරී පත්වූ පළමු හින්දු ආගමික පුද්ගලයා ලෙස වාර්තාපොතට එක්වූවාය. ඇය එවකට ජාත්‍යන්තරයේ වැඩි කතාබහට ලක්වූයේ කොංග්‍රස් සාමාජිකාවක ලෙස දිවුරුම් දීමේදී හින්දු ආගමික චාරිත්‍රයට අනුව ‘භගවත් ගීතාව’ මත අත තබා එය සිදු කිරීම හේතුවෙනි. 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති මූලික ඡන්ද විමසීමේදී ජනාධිපති අපේක්ෂත්වය සඳහා ඉදිරිපත්වූ බවද වාර්තා වේ. ඇය ඩිමොක්‍රටික් සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත්තේ පසුගිය 2022 ඔක්තෝබරයේදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT