Home » දැහැමි රටකට බුදු සසුනෙන් ගත හැකි මඟ

දැහැමි රටකට බුදු සසුනෙන් ගත හැකි මඟ

by sachintha
November 15, 2024 3:38 am 0 comment

රට පාලනයේදී රටවැසියන්ට බලපාන එක නීතියක් තිබිය යුතුය. ඒ රටේ නීතිය සැමට එක සමාන විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශාසනයේ පැවැත්මටද විනය නීති පනවා බුදු සසුන සුරක්ෂිත කළ සේක. බුදු සසුනේ පුද්ගල වර්ග අනුව හෝ ජන වර්ග අනුව හෝ වෙන වෙනම නීති වර්ග නැත. කුමන ජන වර්ගයක් වූවත් සසුන්ගත වූ පසුව අනිවාර්යෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් පැන වූ විනයට යටත් විය යුතුය.

බුදු දහම ආගමක් නොවේ. ලොව පවතින අනෙක් දර්ශන මෙන් තවත් එක් දර්ශනයක්ද නොවේ. බුදු දහම පර්යේෂණයක් තුළින් ප්‍රතිඵල ලබාගත යුතු විද්‍යාවකි. මහබෝසතාණන් වහන්සේට වයස අවුරුදු විසිඅටේදී අගමෙහෙසිය වූ යශෝධරා දේවියට දරුවෙක් ලැ‍ෙබන බව දැනගන්නට ලැබිණි. ඕනෑම කෙනෙක් උපදින්නේ කෙසේද යන ප්‍රශ්නය බෝසතාණන් වහන්සේට ඇති විය. ඒ ආසන්න දිනවල ඡන්න ඇමැති සමඟ උයනට යන අතර වාරයේ මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක් දකින්නට ලැබිණි.

තමන් වහන්සේගේ සමීපතමයින් සහ ලෝකයේ බිත්තරවලින් උපදින අය (අණ්ඩජ) ගර්භාෂයෙන් උපදින අය (ජලාබුජ) කුණුබිම් තෙත්බිම් කානු පල්ලේ උපදින අය (සංසේදජ) ඉබේම උපදින අය (ඕපපාතික) කියන මේ හැමෝගේම, ඉපදීම, ලෙඩවීම, මරණයට පත්වීම, නතර කරන්නට ක්‍රමයක් සොයමින් ගිහි ගෙය අත්හරින්නට විය. ගුරුවරුන් සොයා ගිය බෝසතාණන් වහන්සේට ඔවුන් වෙතින් තමන් වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු නැති බව දැනගන්නට ලැබිණි. යම් සහනයක් හෝ ලැබුණේ ආලාරකාලාම, උද්දකරාම පුත්ත තාපසවරුන් වෙතින් පමණි. ආකිඤ්චඤ්ඤායතය සහ නේවසඤ්ඤා නා සඤ්ඤායතනය දක්වා ඔවුන්ගෙන් ඉගෙන ගන්නට ලැබිණි.

එහෙත් අවසානයේ දී ප්‍රශ්නවලට උත්තර නැති තැන බෝසතාණන් වහන්සේ නතර වූයේ පස්වග තවුසන් සමඟ උරුවෙල් දනව්වේ නේරංජනා ගඟ අසලය. උන්වහන්සේ දැඩි දුෂ්කර ක්‍රියා කරන්නට විය. එයින්ද සොයන දේ නොලැබෙන තැන බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට පටන් ගත්හ. ඒ මධ්‍යම ප්‍රතිපදාව වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහි අවසානයේ දී ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේට සෙවූ දෙය ලැබිණි. මේ ලොව මවන්නෙක් නිර්මාණය කරන්නෙක් නැත. සියල්ලම හට ගන්නේ හේතූන්ගෙනි. ලෝකයේ යමක් ඇත්ද එය හට ගන්නේ හේතූන්ගෙනි. ඒ හේතු ඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වන ආකාරය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

එම දේශනාව එක් ජාතියකට පමණක් සීමා වන්නේ නැත. එක් ආගමකට පමණක් සීමා වන්නේ නැත. මනුෂ්‍ය වර්ගයාට පමණක් සීමා වන්නේ නැත. එය සියුලූම සත්ත්ව, සංඛාර, අවකාශ ලෝකයන්ගේ ඇති සියල්ලමය. එය සැමටම පොදුය. එය පරීක්ෂණ කර අවබෝධ කරගත යුතුය. එහි පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමන සහ අවසානයේ දී ප්‍රතිඵලය තිබේ.

රාජ්‍ය පාලකයා

සොරකම් කිරීම්, බොරු කීම්, ගහ මරා ගැනීම් ආදිය වළක්වමින්, දොස් නැඟිය යුත්තාට දොස් නඟමින්, ගැරහිය යුත්තාට ගරහමින්, නෙරපිය යුත්තා නෙරපමින්, වරදට දඬුවම් දෙමින්, සම්මත කර ගත් නීතිය ක්‍රියාත්මක කරමින්, රට ස්වයංපෝෂිත කරමින් රටට නායකත්වය දෙන්නා රජු වේ. මහජනතාව විසින් සම්මත කර ගත් මහා සම්මත රජු වේ. (අග්ගඤ්ඤ සූත්‍රය)

රජු විසින් රජුට සහය දෙන්නන් සමඟ රට පාලනය කරමින් සැම අතින්ම රට ස්වයංපෝෂිත කළ යුතු ය. රටවැසියන්ට සෑම අතින්ම සෙත සලසන බොහෝ කාරණා භාග්‍යවතුන් වහන්සේ විසින් සිගාලෝවාද සූත්‍රය, ධම්මික සූත්‍රය, ව්‍යග්ග පජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, අධම්මික සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය, අගගඤ්ඤ සූත්‍රය, කූටදත්ත සූත්‍රය, චක්කවත්ති සීහනාද සූත්‍රය, පංච ඉට්ඨධම්ම සූත්‍රය ආදී දහස් සංඛ්‍යාත සූත ධර්ම දේශනාවලදී දේශනා කළ සේක. එම සියලුම ඉගැන්වීම් එක් මිනිස් වර්ගයකට හෝ ආගමකට හෝ ජාතියකට හෝ සීමා වන්නේ නැත. එය සමස්ත මානව වර්ගයා මෙන්ම සතා සිවුපාවුන් ගහකොළ ඇළදොළ ආදී ලොව ඇති සියල්ලම සම්බන්ධව ඉගැන්වූ දේශනා වේ.

නීතිය

රට පාලනයේදී රට වැසියන්ට බලපාන එක නීතියක් තිබිය යුතුය. ඒ රටේ නීතිය සැමට එක සමාන විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශාසනයේ පැවැත්මටද විනය නීති පනවා බුදු සසුන සුරක්ෂිත කළ සේක. බුදු සසුනේ පුද්ගල වර්ග අනුව හෝ ජන වර්ග අනුව හෝ වෙන වෙනම නීති වර්ග නැත. කුමන ජන වර්ගයක් වූවත් සසුන්ගත වූ පසුව අනිවාර්යෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් පැන වූ විනයට යටත් විය යුතුය. සියලුම භික්ෂු භික්ෂුණීන්ට ඇත්තේ එකම විනය නීතියකි.

“විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති.” විනය බුද්ධ ශාසනයාගේ ආයුෂය වේ, විනය සිටි කල්හි ශාසනය සිටියේ වේ.”

බුදු සසුනේ විනය නීති පැනවීම සිදු වූයේ නිකරුනේ නොවේ. ආරාධනාවක් අනුවය. එම සිදු වීම කෙටියෙන් මෙසේය. බුද්ධත්වයෙන් දොළොස්වැනි වර්ෂයේදී භාග්‍යවතුන් වහන්සේ වේරංජා නුවර වස් වසන්නට විය. එතැන සිටි සැරියුත් මහරහතන් වහන්සේ එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ මුණගැසී අතීතයේ වැඩ සිටි බුදුපියාණන් වහන්සේලාගේ ශාසන ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමත් සමඟම අතුරුදන් වූවාද? නැතිනම් බොහෝ කල් තිබුණාදැයි අසන්නට විය. අතීතයේ වැඩ සිටි විපස්සී, සිඛී, වෙස්සභූ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑමත් සමඟම එම ශාසන අභාවයට ගිය බවත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදු පියාණන් වහන්සේලා පිරිනිවන් පෑමත් සමඟම එම ශාසන බොහෝ කල් පැවති ආකාරයත් දේශනා කරන්නට විය.

ඉන් පසුව සැරියුත් මහරහතන් වහන්සේ අතීත බුද්ධ ශාසනය ඉක්මනින් අභාවයට ගියා නම් එයට හේතුවත්, බොහෝ කල් තිබුණා නම් එයට හේතුවත් අසන්නට විය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එයට හේතුව නවංග සත්ථු ශාසනය සහ විනය නීති පැනවීම බවයි. නවංග සත්ථු ශාසනය අංග සම්පූර්ණව දේශනා කළ සහ විනය නීති පැනවූ බුද්ධ ශාසන බොහෝ කල් පැවති ආකාරයත් එසේ නොවුණ බුද්ධ ශාසන ඉක්මනින්ම අභාවයට ගිය ආකාරයත් දේශනා කරන්නට විය. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ ඒවා දේශනා කරන්නත් විනය නීති පනවන්නත් ආරාධනා කරන්නට විය. නවංග සත්ථු ශාසනය දේශනා කරන බවත් අනාගතයේදී විනය නීති පනවන බවත් දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ මේ මොහොතේ මෙහි සිටින භික්ෂූන් වහන්සේලා කිසිදු වරදක් නොකළ පිරිසක් නිසා ඔවුනට විනය නීති පැනවීම තේරුමක් නැති බවත් අනාගතයේ දී භික්ෂූන් වැරදි කරන බවත් එවිට භික්ෂූන්ට විනය නීති පනවන බවත් දේශනා කළ සේක.

ඒ අනුවම පසු ක‍ෙලක සුදින්න භික්ෂුවගේ වැරැද්දක් මුල් කරගෙන විනය නීති පනවන්නට ආරම්භ කළ සේක. රටක පවතින නීතිය ද එසේ ඇති වන්නේ මීට පෙර ඇති වූ ප්‍රශ්න විසඳාගෙන මහජනතාවට පහසුව සැලසීමටය. බුදු දහමේ විනය නීති තිබෙන්නේ භික්ෂුව අපහසුතාවයට පත් කිරීමට නොවේ. භික්ෂූන්ගේ පහසුවට සුරක්ෂිතකමටය. රටක නීතිය පවතින්නේ ද රටවැසියන්ගේ පහසුවට සුරක්ෂිතකමටය. ඒ සම්මත කර ගෙන ඇති නීති පුද්ගලයා අනුව වෙනස් නොවී සියලු ආගම්, ජාතීන්, සහ ජනවර්ග අනුව එක සමානව ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති තැන සමාජය ආකූල ව්‍යාකූල වේ. සමානාත්මතාවය නොමැති තැන ඇති වන පිපිරීම සමාජයට බොහෝ හානි ඇති කරයි.

රටක් දැහැමිව පාලනය කර ගැනීමට යහපත් කර ගැනීමට අනුගමනය කළ යුතු, බෞද්ධ ඉගැන්වීම් රාශිය අතර දසරාජ ධර්ම, සප්ත අපරිහානීය ධර්ම ගැන නිතර අසන්නට ලැබෙන නිසා මෙහි දී ඒවා පැහැදිලි කරනු නොලැබේ. මෙහිදී පහත කරුණුවලට අවධානය යොමු කෙරේ.

රටක් යහපත් කර ගැනීමට උගන්වන විශිෂ්ටතම ඉගැන්වීම් තිබෙන්නේ බුදු දහම තුළයි. ඉන් රටවැසියන්ගේ මෙලොව ජීවිතය පමණක් නොවේ, පරලොව ජීවිතයද යහපත් වේ. අවසානයේදී සැප අතර උතුම්ම සැපය වන නිවන් සැප විඳින්නටද පුළුවන්කම ලැබේ.

1. උත්සාහවන්තව ධනය රැස්කර රට ස්වයංපෝෂිත කර ගත යුතුය.

2. රටේ එම ධනය දේපළ ඉඩකඩම් ආරක්ෂා කර ගත යුතුය.

3. රටවැසියන්ට යහපත් කළ්‍යාණ මිත්‍රයින්ගේ ආශ්‍රය ලබා දිය යුතුය.

4. රටේ ආර්ථිකය සමාන කොටස් වලට බෙදා රට පවත්වා ගත යුතුය.

රට වැසියන්ගේ මුළු ජීවිතයම මැනවින් කළමනාකරණය කර ගත යුතු අතර, එය කුමන පීඩා වකවානුවකදී වූවත් කඩා නොවැටෙන එකක් විය යුතුය. රටවැසියන්ට ධනවත්ව සැපසේ ජීවත් වීමට සීමාවක් නැත. රැස් කර ගත් ධනය විනාශ වන්නට නොදී රැක ගත යුතුය. අසීමාන්තිකව ධනවත් වන ආකාරයට ජීවිතය පහත ආකාරයට කළමනාකරණය කර ගන්න.

උපයන ධනය සමානව කොටස් හතරකට බෙදන්න. ඉන් සියයට 25 තමන්ගේ කෑම බීම දානමානාදී කටයුතු වෙනුවෙන් වෙන් කරන්න. ඉතිරි සියයට 25 ක් හදිසි ලෙඩක් දුකක් කරදරයක් වූ විට ගන්න තැන්පත් කරන්න. ඉතිරි සියයට පනහ තවතවත් ආදායම් ලැබෙන මාර්ගවලට යොදවන්න. මෙම ක්‍රමයෙන් ලැබෙන ආදායම් මාර්ගයේ කෙළවරක් නැත. ඒ සියල්ලම සමාන කොටස්වලට බෙදමින් සියලුම පාරමිතා සම්පූර්ණ කරගනිමින් සෑම ලෙඩ දුක් කරදරවලටම මුහුණ දෙමින් ඉතාමත්ම සතුටින් ජීවත් විය හැකි ආර්ථික ක්‍රමයක් නිර්මාණය කර ගත යුතුය. රටක් ආර්ථිකමය වශයෙන් අරාජික නොවී තිබුණහොත් ‍රටවැසියන් සැප සේ ජීවත් වේ.

සිගාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය, පංච ඉට්ඨ ධම්ම සූත්‍රය, ධම්මික සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල ඇති ආකාරයටම ජීවිතය සකස් කර විය යුතුය. මවුපියන්ට උපස්ථාන කරන්න. අඹුසැමියන් දූ දරුවන් ආරක්ෂා කර ගන්න. එම සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ පිළිපදින්නේ නැතුව එයට පිටු පා ජීවිතය අසරණ කර නොගන්න. ඒවා පිළිපැදීමෙන් මෙලොව ජීවිතය යහපත් වන අතර, සසරම යහපත්ව නිවන් දකින්නට හේතු සම්පත් සම්පූර්ණ වේ.

පරාභව වැනි සූත්‍ර දේශනාවල තිබෙන කිසිම පිරිහීමේ දෙයක් නොකරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයම පිළිපදින්න. පරතෝඝෝෂය, යෝනිසෝ මනසිකාරය. සද්ධර්මශ්‍රවණය, ධම්මානු ධ්ම්ම ප්‍රතිපත්තිය අනුවම කටයුතු කරන්න.

සතර සංග්‍රහ වස්තු අනුවම කටයුතු කරන්න. තමන් විසින් ජීවිතය අනාථ කරගන්නේ නැතුව, සෝවාන් ආදී කුමන මඟඵලය ලැබුවත් සසරින් එතෙරව රහත්ව අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන් පානා තෙක්ම ඔබේ නාම රූප ධර්මයන් සුවපත්ව පවත්වා ගන්නට අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ග ගන්න.

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමටම ය. ත්‍රිපිටක අටුවාදියේ කොහි බැලුවත් ඇත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය මිශ්‍ර දේශනා වේ. එහි දුක්ඛ සත්‍ය ලෙස දේශනා කළේ පඤ්චුපාදානස්ඛන්ධයයි. ඒ පඤ්චුපාදානස්ඛන්ධය අහේතුක දුගති, අහේතුක සුගති, ද්විහේතුක, ත්‍රිහේතුක විදිහට සතරාකාර සත්ත්ව ක්‍රමයකට හමු වේ.

මින් වර්තමාන භවයේ ජීවත්ව සිටියදීම මඟඵල ලැබිය හැක්කේ ත්‍රිහේතුක අයට පමණි. ඔවුන් සිටින්නේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන භූමිවලය. ත්‍රිහේතුක වූවත් ක්ලේෂාන්තරායාදී අනතුරු ඇති කර ගත් අයටද, අඩු ආයුෂින් මරණයට පත් වන, අතීත කර්ම විපාක නිසාත්, බෝධිපාක්ෂික ධර්ම දියුණු වන ආකාරයට කටයුතු කර නොගත්, (හේතු සම්පත් නැති) අය මේ භවයේදී මඟඵල ලබන්නේ නැත. ත්‍රිහේතුක නොවන අනෙක් අය ඊළඟ භවයේදී හෝ ඉක්මන් භවයකදීම මඟඵල ලබන්නට හේතු සම්පත් ඇතිවන ආකාරයට ජීවත් විය යුතුය.

ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක සුගති, දුගති සියල්ලෝම යම් දවසක රහත්ව අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන් පානා තෙක්ම පඤ්චුපාදානස්ඛන්ධයේ සියලුම යහපත් පැවැත්ම වෙනුවෙන් අදාළ කර්මජ කාරණා කර ගත යුතුමය.

ඒ ආදී ආකාරයට දැහැමිව රටක් පාලනය කර ගැනීමට අනුගමනය කළ යුතු බෞද්ධ ඉගැන්වීම් ගැන කිව යුතු කරුණු බොහෝමයකි.

තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ

රත්නපුර දිසාවේ සංඝනායක,

මිණිපුර අමාශාන්ති තපෝවනය, පැල්වාඩිය-රත්නපුරය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT