Sunday, April 20, 2025
Home » මහජන නියෝජිත සීලය

මහජන නියෝජිත සීලය

by sachintha
November 15, 2024 1:00 am 0 comment

උසුලාගත් බර බිම තබන්නාක් මෙන්, මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට අනුදැන වදාරන සේක්වා. මේ මාගේ පරිනිර්වාණ කාලයයි” යනුවෙන් සැරියුත් මහරහත් වහන්සේ සිය ආයු සංස්කරණය සිදු කරන ලද්දේ අද වැනි ඉල් පෝ දිනකය. මගධ ජනපදයෙහි නාලක ගමෙහි, තමන් උපන් නි‍ෙවසේ පිරිනිවන් පානා බව අග්‍රශ්‍රාවකයන් වහන්සේ තීරණය කළ පසු ඒ බැව්, බුදුන් වෙත දන්වා සිටියෝය. “ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළ වුණු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පා හමුවෙහිදී ඔබ වහන්සේ‍ගේ දර්ශනය ප්‍රාර්ථනා කෙළෙමි. මාගේ ඒ ප්‍රාර්ථනා සමෘද්ධ වූවේය. මා විසින් නුඹ වහන්සේ දක්නා ලද්දාහු ය. ඒ මාගේ ප්‍රථම දර්ශනය යි. මේ අන්තිම දර්ශනයයි. නැවැත නුඹ වහන්සේ දැක්මෙක් මාගේ නැතැ”යි දෙ‍ාහොත් මුදුන් තබා, බුදුන් වැඳ සමුගන්නා ලද්දේ, අද වන් ඉල් පෝ දිනකය.

පෝ දින වැදගත්කම අවධාරණය කරමින් අද දිනය ආරම්භ කළ හැක්කේ වුවද මහ මැතිවරණ ප්‍රතිඵල ද මේ වන විට ලැබෙමින් තිබෙන්නේ බැවින් ඒ සඳහා ද අවධානයක් මහා පරිමාණයෙන් රට තුළ ඇත්තේය. ඊයේ පැවති ඡන්දය මෙතෙක් ඉතිහාසයේ පැවති, සද්ද අඩුම මහමැතිවරණය වන්නේය. සද්දය වැඩි කර, විය හියදම් බහුල කර යමෙක් සිය ජයග්‍රහණය සඳහා වෙහෙස වන්නේ නම්, ජනතාව ඒ සඳහා පාන්නේ විරෝධයකි. ඒ සඳහා ඡන්ද ලැබෙන්නේ නැත. එසේම මැතිවරණ නීතිය බලවත්ය. දිස්ත්‍රික්කය අනුව, අපේක්ෂකයෙක් වෙත වියදම් කළ හැකි මුදල සීමා වී ඇත්තේය. මේ නිසා වෙනදාට මහා සංගීත රාත්‍රිය සමඟ පැවැත්වෙන මැතිවරණ රැස්වීම දැන් පැවැත්විය නොහැකිය. ඒ ජාතියේ එක් රැස්වීමකින්, වියදම් සීමාව පන්නා යන්නේය. මේ ආදී තත්ත්වයන් සහ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය හේතුවෙන් ද මැතිවරණ උණුසුම, බිමට පහත් වී තිබිණි.

තව පැය කිහිපයක් ඇතුළත අවසාන ප්‍රතිඵලය ලැබෙන හෙයින් ඊළඟ පාර්ලිමේන්තුවේ බලය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් අපට බලාගත හැකිය. එය ජනතා තීරණය බැවින්, මේ රටේ සියලු දෙනා පරමාධිපත්‍යය වෙත හිස නමා, එම තීරණය පිළිගත යුතුය. එතැන් සිට මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති විය යුත්තේය.

පාර්ලිමේන්තුව බලා පැමිණීම, සැපයක් වැළඳීම ලෙස ගෙන මහජන ඡන්දය සිය දිවියේ සුඛ විහරණය සඳහා පමණක් උපයෝගී කරගත් කාලය මෙයින් පසුව නිමා වනු ඇත්තේය. පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු කතා කරන්නේ ඉස්සරහින් එල්ලා ඇති සල්ලි මල්ල දෙස බලාගෙනය. සමහරු දූෂණ හෙළි කරනවා යැයි කියමින්, ඩොකියුමන්ට්ස් ආදිය පෙන්වා, සබයේ මොර දෙන්නේය. නිලධාරීන්ට මඩ ගසන්නේය. විනාඩි විසි පහේ, ඒ කතාව වෙනුවෙන්, ලක්ෂ විසිපහක පමණ මුදලක් ටෙන්ඩරය නොලැබුණු සමාගමෙන් ලබා ගෙන ඒ ආකාරයේ වේගවත් කතා සිදු කළ බව, සබයේ සෑම අයෙක්මැ දන්නාහ. අනික් පැත්තෙන් ගාණක් ගෙන පසුදාම තව අයෙක් ද ඒ වේගය පරදා කතාවක් සිදු කරන්නේය. මවාගත් තරහකින් තර්ක කරමින්, මේ දෙදෙනා විවාද කරන කල්හි, අතර මැද්දේ ගුටි බැට හුවමාරුව සඳහා ද කිට්ටු ගතියක් පෙන්වන්නේය. බලා සිටින ජනතාව සිතන්නේ අදාළ ටෙන්ඩරය ජනතාවාදී ආකාරයෙන් ක්‍රියාත්මක කර ගැනීම සඳහා මේ ආකාරයට මහජන නියෝජිතයෝ ගහ මරා ගන්නා ගාණට එන බවය.

ඇත්තම කතාව සමාගම් දෙකක ඒජන්තයන් ලෙස අදාළ ටෙන්ඩරය වෙනුවෙන් කතා කිරීමට, මේ මහජන නියෝජිතයෝ ගාණක් ගෙවා හයර් කර ඇති බවය. සමහරෙක් පුද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කරන්නේය. එහෙමට මහජන අවශ්‍යතාවක් නැත්තේ වුවද මාසයකට දහයක් පහළොවක් පමණ ඒ ජාතියේ යෝජනා ඉදිරිපත් වන්නේ, එක් එක් සංවිධාන සඳහා කඩේ යෑම වෙනුවෙන්ය. මේ ආකාරයට මන්ත්‍රීකම වනාහි, හොඳට හරි හම්බු කළ හැකි පට්ටමකි. සමහර ආයතන මාසයට ලක්ෂ දහය ආදී විශාල මුදල් ගෙවා, මන්ත්‍රීවරු රැක බලා ගන්නේය. ඊට හේතුව හදිසි අවස්ථාවකදී වැඩ ගැනීම සඳහාය. එම ආයතනය රට වටේම කොන්ත්‍රාත් ගෙන, අර මන්ත්‍රී බළඇණිය, සිය මාධ්‍ය බළඇණිය ආදිය යොදවා, ඒ සඳහා අවශ්‍ය දේ ඉටු කර දෙන්නේය. මේ රටේ මහජන නියෝජිත වතේ, එක් පැත්තක් ඔය ආකාරයේය. තව පැත්තක් වන්නේ බ්ලැක් මාකට් වැඩය. එතෙරින් රත්රන් ආදියේ සිට මත්වෙන දෑ තොගයට ගෙන්වීම ද මන්ත්‍රීන් බොහෝ දෙනෙක්, පොකට් මනී සොයා ගන්නා ආකාරයකි. අනික බ්‍රෝකර් වැඩය. මේ සඳහා නම් වරදක් කිව නොහැකි වුවද, ඔය බ්‍රෝකර් කටයුතු යනු ඉඩම් බ්‍රෝකර් ආදී දේ නොවේ. වරායේ ඇති කන්ටේනරයක් මුදාගැනීම, ආයෝජකයෙක් සඳහා ඉඩමක් ලබාදීම ආදියේ සිට අතරමැදි ජවනිකා හෙතෙම ඉටු කරන්නේය. අනික බාර් ලයිසන් කොළය වන්නේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් වහාම, ඒ මන්ත්‍රී තෙමේ ආණ්ඩු පක්ෂයේ නම් ඔහුගේ නමට බාර් ලයිසන් කොළයක්, දෙකක් හිමිය. විපක්ෂයේ නම්, කඩුල්ල තරණය සඳහා බාර් ලයිසන් කොළයක් ෂුවර්ය.

මේ ආකාරයට මන්ත්‍රීකම නම් වූ ශීලය, දූෂණය කරන ලද්දේ මැ රටේ ජනතා නියෝජිතයා මිස, ඊයේ දිනයේ ඡන්දය දුන් අප නොවේ. අප සැමදා අපේක්ෂා කළේ, ජනතා සේවය වෙනුවෙන්ම පෙරට එන නියෝජිතයෙකි. තව පැය කිහිපයක් ඇතුළත එවන් දෙසිය විසි පහක නම් ලැයිස්තුව එළියට එන්නේය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන මහ බලකණු වන්නේ ඒ පිරිසය.

ඉල් මස පුන් පොහෝ දා එම සියලු දෙනා අප පිළිගන්නේ, ජනතාව උදෙසා වන සීලය, නොකඩා, මේ වසර පහ තුළ ගත කරන ලෙස ඉල්ලා සිටිමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT