Home » ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය

ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය

-මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක

by sachintha
November 15, 2024 1:28 am 0 comment

මෙවර මහමැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක මහතා ‘දිනමිණ’ට ඊයේ (14) ප්‍රකාශ කළේය. මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසු ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීවේය.

ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහමැතිවරණය බවත් ප්‍රජාතන්ත්‍රවාදයට නිදහස් හා සාධාරණයට කිට්ටුවෙන්ම ගිය හොඳම මැතිවරණය මෙය බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද තහවුරු කරයි. ශ්‍රී ලංකාවේදී 1947න් පසුව පවත්වන ලද මැතිවරණයකදී දක්නට ලැබුණු ප්‍රශස්තම මැතිවරණය මෙය යැයි ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

මෙය ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය යුතු අවස්ථාවක් යැයි ද හෙතෙම කියයි.

ගත වූ දින 51ක ප්‍රචාරක කාලයේදී කිසිදු බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණු බව කී ඒ මහතා වාර්තා වූ ඇතැම් සිද්ධීන්ගෙන් කිසිසේත් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් සිදු නොවන බව ද කීවේය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආච්චි මහතා පැවසුවේ මෙවර ඡන්දය දැමීම සියයට 75ක ප්‍රතිශතයක් වාර්තා වී තිබෙන බවයි. විපක්ෂය දුර්වල මැතිවරණ ව්‍යාපාරයක් මෙවර පවත්වාගෙන ගිය බව කී ඒ මහතා, ජයග්‍රහණය කවුරු අත්පත් කර ගත්ත ද එය සාමකාමීව භූක්ති විඳින ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

පෙළපාළිවලින් වැළැකී ඉදිරි සති දෙකක කාලය ද පුරවැසි වගකීම ඉටු කරන්නට පියවර ගන්නා ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT