“තීහි, භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ ඤාතෝ භික්ඛු බහුජන අහිතාය පටිපන්නෝ හෝති. බහුජන දුක්ඛාය, බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං කතමේ තීහි?”
1. අනනුලෝමිකේ කායකම්මේ සමාදපේතී
2. අනනුලෝමිකේ වචීකම්මේ සමාදපේතී
3. අනනුලෝමිකේ ධම්මේසු සමාදපේතී
“ඉමේහි ඛෝ භික්ඛවේ තීහි ධම්මේහි සමන්නාගතෝ ඤාතෝ භික්ඛු බහුජන අහිතාය පටිපන්නෝ හෝති බහුජන දුක්ඛාය, බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං.”
(අංගුත්තර නිකාය, තික නිපාතපාළි, රථකාරවග්ගෝ, ඤාත සුත්තං)
ලක්වැසි ලෝවැසි බොදුනු ජනයා පින්සාර මාසයක් දිවා රාත්‍රියේ පින් වඩා කඨින චීවර මාසයේ නිමාව සටහන් කරමින් 2568 වැනි ඉල් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. මේ පුර පසළොස්වක පොහෝ දිනය සතර අගතියට නොපත්ව රටට වැඩ ඇති නායකයන් පිරිසක් තෝරා පත් කර අවසන් කරමින් පෙහෙවස් සමාදානයෙන් මෙන්ම ආමිස ප්‍රතිපත්තියෙන් ජීවිත සරු කරගත හැකි දිනයකි. මෙත් බෝසත් නියත විවරණ ලැබීමත්, ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා ධර්ම ප්රචාරණයේ ගමනාරම්භයත්, පසුවස් පවාරණ දිනයත්, චීවර මාසයේ අවසන් පොහොය මෙන්ම සැරියුත් මහරහත් උතුමන්ගේ පරිනිර්වාණයත් හේතුවෙන් අද දිනය සකල බොදු දනට සුවිශේෂය. අධාර්මික පාලකයන්, නායකයන් රට වනසන විට ඒ අදූරදර්ශී නායකයන්ට උපදෙස් දෙමින් ධර්මානුකූල මහජනතාවගේ පැත්තේ නොසිට අධාර්මික පාලකයන්ට ආශීර්වාද කළ භික්ෂූන් ගැනයි අප අද සාකච්ඡා කරන්නේ.
අප තිලෝගුරු බුදුන් වහන්සේ දක්වනවා කරුණු තුනකින් යුක්ත ප්‍රසිද්ධ භික්ෂුව ඇසුරු නොකළ යුතුයි කියලා. ඒ භික්ෂු රූප දරන්නා නරක වැඩ තුනක් කරනවා. කවුද ඒ භික්ෂු ප්‍රතිරූපකයා? මොනවද මේ පුද්ගලයා කරන්නේ?
නුසුදුසු කාය කර්මයන්හි, වචී කර්මයන්හි, මනෝ කර්මයන්හි ඔබ යොදවන්නේ නම්, සමාදන් කරවන්නේ නම් මේ භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, අයහපත පිණිස, අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට නරකක්මයි කරන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දක්වනවා මේ වැනි ප්‍රසිද්ධ භික්ෂූන්ගෙන් පරිස්සම් වෙන්න කියලා.
භික්ෂුවකගේ කාර්යය තමා පින්වත්නි, යහපත් සමාජයකට අනුශාසකත්වය සැපයීම; ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කරගන්න උත්සුක වීම. ඒ ආදර්ශය ගෙන ගිහි සමාජය සැකසෙන්න උත්සාහ ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන් තම කීර්තිය, ගෞරවය හෝ වෙනත් සමාජ සම්භාවනාවන් සියල්ල මහජනතාවගේ යහපත පිණිසම විය යුතුයි. අප පහුගිය කාලේ දැක්කා අතක ඇඟිලි ගානටත් අඩු ප්‍රසිද්ධ ඇතැම් භික්ෂූන් තම පක්ෂය තුළ බලය පවත්වන්න, තම සුඛවිහරණය උදෙසා ‘පරපටිබද්ධා මේ ජීවිකාතී…’ යන සම්බුදු වදන අමතක කළා. මුසාවාද ටොන් ගණන් ප්‍රසිද්ධ වේදිකාවල අතිශයෝක්ති කතාන්දර කියමින් මිනිසුන් බිය වැද්දුවා. සමහර ඇත්තෝ ප්‍රසිද්ධ ධර්ම දේශකයෝ. ඒක භික්ෂුවකගේ කාර්යභාරය නොවෙයි. සිගාලෝවාද සූත්‍රයේ උඩ දිශාවල අපව යෙදුවේ සැමට ඉහළින් හිඳිමින් ගිහි ජනතාවට මෙත් සිතින් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන්න. ඒ මුසාවාද කියන ඇත්තෝ බුද්ධ කාලයෙත් හිටියා මතක නේද දේවදත්ත? තවත් පිරිසක් බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සම්බන්ධයෙන් මුසාවක් දෙසනවා. සම්පූර්ණ ත්‍රිපිටකයට විරුද්ධ ධර්මයක් කියමින්. මේ වැනි අඳබාල දේශනා නිසා වෙන්නේ අවසානේ, උතුම් නිර්වාණ මාර්ගයේ යෑමට ඇති අවස්ථාව අපට අහිමි වීම පමණයි. බුද්ධ දේශනාව විකෘති කරලා දේශනා කරන්නෝ සමාජ මාධ්‍යයේ වැහි වැහැලා. ත්‍රිපිටකයෙන් ධර්මය ගෙන අභිමත දේශනා කරනවා. ඒවට එක එක නම් පවා යොදාගෙන. පරිස්සම් වෙන්න පින්වතුනි, රත්රන් වගේම පෙනුම තියෙන බාල දේවල් දැන් හරියට සමාජයේ තියෙනවා. ඒ වගේමයි සමහරු මේ ධර්මය විකෘති කරනවා.
බුදුරජාණන් වහන්සේ මේ සූත්රයේම දක්වනවා කරුණු තුනකින් යුක්ත ප්‍රසිද්ධ භික්ෂුව අනිවාර්යයෙන් ඇසුරු කරන්න කියලා. ඒ භික්ෂුව අප ධර්මයේ යොදවනවා, හොඳ දේවල් කතා කරන්නත්, යහපත් සිතිවිලි උපදවන්නත් අපට අනුශාසනා කරනවා. ඒ නිසා අපට අර්ථය පිණිස, යහපතට අපේ දියුණුව පිණිස ඉන්න පින් ඇත්තෝ ඇසුරට යන්න. ගෙවල්වල, සමාජයේ, ජීවිතේ අවුල් සියල්ල උන් වහන්සේලා ලිහාගන්න විදිය කියලා දේවි අනුකම්පාවෙන්.
ඉහත කරුණු ගැන හිතලා ජීවිතේ වැරදි ඇසුරකට නම් යන්න එපා. හොඳ ඇත්තෝ ඇසුරු කරලා දෙව්ලොව මාවතත්, නිවන් සුවයත් අද අදම නිවීමත් සොයාගන්න. මේ තරගයේ ඔබත්, මමත් පරදිනවා. ඒ නිසා ජයග්‍රහණයට මාවත යහපත් භික්ෂුව ඔබට පෙන්වාවි. ඒ ලොව්තුරු මාර්ගයේ ගොස් නිවන මේ භවයේම සකස් කරගනිමු.
තෙරුවන් සරණයි!