පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත විමර්ශන ආරම්භ කිරීම පැසසුමට ලක් කළ යුතු කරුණක් බව කතෝලික සභාව වෙනුවෙන් අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා පැවසීය. මේ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතෝලික සභාවෙන් සහයෝගයත් ඉල්ලන්නේ නම් ඊට නොපැකිළ සහය දක්වන බව ඊයේ (13) මේ සම්බන්ධයෙන් දිනමිණට අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා මෙසේද කීය:
“පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් මුල සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ආ විමර්ශන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පත් වීමත් සමඟ නැවතුණා. විමර්ශන සිදු කළ නිලධාරීන් මාරු කරනු ලැබුවා. ඒ විමර්ශන එතනින් අවසන් කෙරුණා. ජනාධිපති කොමිෂන් සභාවක් තිබුණා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තිබුණා. විවිධ කමිටු තිබුණා. අනිත් හැම දේටම වඩා පිළිගන්නේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවයි. ඒ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක වුණෙත් නැහැ. ඒ වාර්තාවේ යම් යම් අඳුරු තැන් තිබුණා. ඒ වාර්තාවේ ගැඹුරින් විමර්ශනය කරපු නැති තැන් තිබුණා. “අප මුල ඉඳන්ම ඉල්ලුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන්න කියලයි. දිගටම ඒ ඉල්ලීම ඉටු වුණේ නැහැ. ඔය හැම වාර්තාවකටම පසුව හුඟක් තොරතුරු එළියට ආවා. චැනල් ෆෝ නාළිකාවෙන් එළිදැක්වූ කරුණු එය තහවුරු කරනවා. චැනල් ෆෝ නාළිකාව මේ තොරතුරු හෙළිදරවු කළේ මේ සියලු වාර්තා එළිදැක්වීමෙන් අනතුරුවයි. වත්මන් රජය යටතේ මේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමත් විමර්ශන නැවත ආරම්භ කිරීමත් සම්බන්ධයෙන් කතෝලික සභාව සතුට පළ කරනවා. පමා වීමකින් තොරව මේ විමර්ශන කටයුතු අවසන් කරාවියැයි අප බලාපොරොත්තු වනවා.”