රක්වාන රජයේ ආයුර්වේද රෝහල් භූමියේ හොරෙන් මැණික් පතල් හාරා ගොඩගත් බව කියන ඉල්ලම් ගෝනි 19ක් ඊට යාබද ඉඩමක සඟවා තිබියදී සිය භාරයට ගත් බව රක්වාන පොලීසිය පැවසීය.
කිසියම් පිරිසක් විසින් ආයුර්වේද රෝහල පිහිටි ඉඩමට රාත්‍රී කාලයේදී අනවසරයෙන් ඇතුළු වී පතල් වළවල් කපා එහි තිබූ ඉල්ලම් සහිත පස් ගෝනිවල පුරවා රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් රක්වාන රජයේ ආයුර්වේද රෝහල භාර වෛද්‍ය පියල් හෙට්ටිආරච්චි මහතාගේ දැනුම් දීම මත එහි ආරක්ෂාව භාර ආරක්ෂක නිලධාරියා පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.
පසුව එම ස්ථානයට ගිය පොලිසියට දැක ගැනීමට හැකිවී ඇත්තේ ආයුර්වේද ඉඩම ආසන්නයේ පිහිටි ඉඩමක ඉල්ලම් සහිත පස් පිරවූ ගෝනි දහනවයක් සඟවා තිබෙන බවයි. ඒ අනුව එම ඉඩම අයත් බව පැවසෙන පුද්ගලයාගෙන් කරුණු විමසීමේදී ඔහු පවසා ඇත්තේ එම ඉල්ලම් ගෝනි සිය ඉඩමේ පිහිටි පතල්වල ඒවා බවයි.
අනතුරුව එම ඉල්ලම් ගෝනි දහනවය පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවල රක්වාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසීය.