මහමැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම්ය. උදෑසනින්ම ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට හේතුවක් නොමැති හෙයින් සියලුදෙනා ඡන්ද අයිතිය භාවිත කිරීමට කටයුතු කරනු ඇත. එසේම, නිල ඡන්ද පත්‍රය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනිවාර්ය නොවේ. වලංගු හැඳුනුම්පතක් තිබේ නම් එය ඉදිරිපත් කළ හැකිය. එසේම, රියදුරු බලපත්‍රය, විදෙස් ගමන් බලපත්‍රය මෙන්ම මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කළ ලියවිල්ලක් වුවද ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්දදායකයන්ට ඉදිරිපත් කළ හැකි වේ.
එමෙන්ම, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ගණන් කිරීමේ අවස්ථාව වන විට නිවෙස්වල රැඳී සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම, ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහමඟ පිරිස් වශයෙන් රැඳී නොසිටින්නැයි පොලීසිය අවධාරණය කරයි. යම් හෙයකින් එසේ රැඳී සිටියහොත්, එය අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදකි. තවද, රූපවාහිනී හෝ පුළුල් තිර මඟින් ජනතාව එක්රැස් වී වැඩසටහන් හෝ මැතිවරණ ප්‍රතිඵල නරඹමින්, රතිඤ්ඤා දැල්වීම්, ආලෝක බැලුන් යැවීම් ආදියට ඇතැමුන් කිරීමට පෙලඹුණ ද එය ද නීති විරෝධීය. මැතිවරණයට අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වී සිටින තැනැත්තන් පෙනී සිටින, දායකත්වය දක්වන කලා නිර්මාණයන් ප්‍රසිද්ධ නොකරන්නැයි ද මැතිවරණ කොමිසම ජනමාධ්‍යවලට දන්වා සිටියි. මේ සියලු පියවර සියලු අපේක්ෂකයන්ට එකම, සම මැතිවරණ තරග බිමක් සකස් කර දීම වෙනුවෙනි.
සැබැවින්ම, ජනාධිපතිවරණයට වඩා වැඩි අපේක්ෂක ගණනක් දිස්ත්‍රික් මට්ටමෙන් වෙන වෙනම ඉදිරිපත්ව සිටින මෙවර මහමැතිවරණයට අදාළව දිස්ත්‍රික් මට්ටමෙන් කමිටු පිහිටුවමින් මැතිවරණ, ආරක්ෂක කටයුතු විධිමත් අයුරින් සංවිධානය කර ඇත. දිවයින පුරා මැතිවරණ කටයුතු සඳහා ආරක්ෂාව සැලසීමට පොලිස් නිලධාරින් ඇතුළුව ආරක්ෂක අංශ සාමාජිකයන් 90,000ක් යෙදවීමට කටයුතු යොදා තිබේ.
එපමණක් නොව, ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණය පමණක් නොව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම්වලදී ද මහජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම අතිශය වැදගත්ය. එසේම, එහිදී ජනතාවගේ දැනුවත් බවත් අත්‍යවශ්‍යය. එහෙත් තවමත් ඇතැමුන්ට ඡන්දය හා සම්බන්ධ ගැටලු හා වැඩිදුරටත් පැහැදිලි කර ගත යුතු කරුණු ඇති වග හඳුනාගත හැකිය. මේ එවැනි ගණනාවකි.
පුරවැසියා
රාජ්‍යයක් මගින් එහි ප්‍රජාව වෙත ප්රදානය කරන සියලු නීත්‍යනුකූල අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විඳීමට හිමිකම් ලබන පුද්ගලයා වන අතර ඔහු එහි නීති රීතිවලට අවනත වීමට සහ ඔහු වෙත පැවරෙන රාජකාරි ඉටුකිරීමට බැඳී සිටී. රටවැසියා ලෙසද හැඳින්වේ.
ඡන්ද දායකයා
ඡන්ද දායකයා යනු ඡන්දය ප්‍රකාශ කළ හැකි එනම්, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව ඇති, පුද්ගල අනන්‍යතා හැඳුනුම්පතක් හිමි එමෙන්ම ඡන්ද විමසීම් කටයුතු සඳහා සහභාගි විය හැකි පුද්ගලයා වේ.
ඡන්ද හිමියා යනු
- මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති පුද්ගලයෙකු
- මැතිවරණයක් සඳහා සහභාගි වීමට අයිතිය ඇති පුද්ගලයෙකු, මෙහිදී
වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකු ම ඡන්දහිමියෙකු ලෙස හැඳින්විය හැකිය.
නම ඡන්ද ලැයිස්තුවේ තිබීම අනිවාර්යයද?
අනිවාර්යය නැත. එහෙත්, කෙනෙකුගේ ඡන්දය භාවිත කිරීමට අමතරව වෙනත් රජයේ අවශ්‍යතාවන් සඳහා නාමලේඛනයේ නම තිබීම ප්‍රයෝජනවත් වේ. එමෙන්ම සිවිල් පුරවැසියෙකු ලෙස තම ප්‍රධානතම සමාජ වගකීම මත ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද බලය තිබීම අත්‍යවශ්‍ය වේ.
ඡන්දහිමි නාමලේඛනයට නමක් ඇතුළත් කර ගැනීමට මූලික හා ව්‍යවස්ථාපිත සුදුසුකම් පවතියි. එනම්,
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
- පෙබරවාරි 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම
- පෙබරවාරි 01 දිනට ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ලිපිනයේ සාමාන්‍ය පදිංචිය තිබීම.
- සිහිවිකල් බවට යම්කිසි නීතියන් යටතේ තීරණය වී නොතිබීම.
- අවුරුදු 2ක සිරගත වීමට නියම වන වරදකට, වරදකරු වී මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සිරගතවී සිටීම හෝ සිරගතවී සහ ඉන් පසු අවුරුදු 07 ක කාලයක් ගතවී තිබීම.
- අල්ලස් චෝදනාවකට වරදකරු වී අවුරුදු 07 ක කාලයක් ගතවී තිබීම.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවේ ඡන්ද බලය අහිමි වීමට අදාළ නුසුදුසුකම්වලට ලක් නොවීම.
- පෙබරවාරි 01 සිට මැයි 31 දක්වා ; ජූනී 01 සිට සැප්තැම්බර් 30 දක්වා ; ඔක්තෝබර් 01 සිට ජනවාරි 31 දක්වා යන කාලපරිච්ඡේද තුළ යම් දිනකදී වයස අවුරුදු 18 සම්පූර්ණ කරන පුරුවැසියෙකු පරිපූරක ඡන්දහිමි නාමලේඛන මඟින් ඡන්ද බලය ලබා ගත හැකිය.
මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, මහජන ආයතන (දූෂණ වැළැක්වීමේ) ආඥාපනත යටතේ වරදකරු වී සිටීම, මැතිවරණවලදී දූෂණ ක්‍රියා, නීති විරෝධී ක්‍රියා ආදියට වරදකරු වී තිබීම ආදී වශයෙන් තවත් නුසුදුසුකම් ඇත.
හිමිකම් පරීක්ෂණයකින් පසුව යමෙකුගේ නමක් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කර නොතිබේ නම් ලියාපදිංචි කිරීමේ නිලධාරීගේ තීරණයට විරුද්ධව අභියාචනයක් දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කිරීමට අයිතිය තිබේ.
නමක් ඡන්දහිමි නාමලේඛනයට වරක් ඇතුළත් කළ පසුව ජීවිත කාලයටම එය එහි පවතීද?
නැත. සෑම අවුරුද්දකම ඡන්ද හිමියන් ගණන් ගන්නා අවස්ථාවේදී කෙනෙකුගේ නම, පදිංචි නිවහන යටතේ ගණන් ගැනීම අනිවාර්යය. නොඑසේනම්, ලැයිස්තුවෙන් නම ඉවත් වනු ඇත.
ඡන්දහිමි නාමලේඛනයේ උපුටනය නිකුත් කෙරේද?
ඔව්. තමාගේ නම සඳහන් නිෙවසේ උපුටනයක් ලබා ගත හැකියි. ඒ සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයක් වෙත ගොස් ඉල්ලුම්පතක් සම්පූර්ණ කර නියමිත ගාස්තු ගෙවා උපුටනයක් ලබා ගත හැකිය. කෙසේ නමුදු, කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ඡන්දහිමි නාමලේඛන තොරතුරු ඇති බැවින්, තමාගේ නම ඇතුළත් මුද්‍රිත පිටපතක් (PRINT OUT) ලබා ගත හැකිය.
පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා උපුටන නිකුත් කරනවාද?
නැත. දරුවන් පාසල්වල පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා නාමලේඛනයේ උපුටන අවශ්‍ය නොවේ. එසේ වුවත් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වීම පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින්, www.elections.gov.lk මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ ලබාගෙන ඉල්ලුම් පත්‍රෙය් විස්තර සම්පූර්ණ කළ හැකිය. එක් එක් පාසල්වල ප්‍රධානීන් විසින් ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කරනු ඇත. ඊට අදාළ පහසුකම් මැතිවරණ කොමිෂන් සභාව විසින් පාසල් වෙත ලබා දී ඇත.
ලිපිනයන් එකකට වැඩි ගණනක් සඳහා එකම අයකුගේ නම ලියාපදිංචි කළ හැකිද?
නොහැක. එය වරදකි. එසේ වුවත් යම් අයෙකුට ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ඇති ලිපින එකකට වඩා තිබිය හැකි අතර ලියාපදිංචි විය හැක්කේ ඉන් එක ලිපිනයක පමණි.
ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු ඇරඹෙන්නේ කවදායින්ද?
සෑම අවුරුද්දකම පෙබරවාරි මස 01 දිනයෙනි.
කුලී නිවැසියන් සඳහා ඡන්දය සඳහා ලියාපදිංචි විය හැක්කේ කවර ස්ථානයකදීද?
අදාළ වර්ෂයේ පෙබරවාරි මස 01 දින පදිංචිව සිටි ස්ථානයේ ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වීමට කුලී නිවැසියන්ට සම්පූර්ණ අයිතිය තිබේ. එයට බාධා කිරීමට කිසිවකුට නොහැකිය. එවැනි අවස්ථා සම්බන්ධයෙන් මැතිවරණ කාර්යාලය වහාම දැනුම්වත් කිරීම අවශ්‍යයි.
වෙනත් අයකුගේ නමක් ලියාපදිංචියට විරෝධතාවක් පෑමට තවත් අයකුට හැකිද?
ඔව්. මෙය කළ යුත්තේ වාර්ෂිකව ‘අ’ (A) සහ ‘ආ’ (B) ලැයිස්තු ප්‍රදර්ශනයට සමගාමීව ලබා දෙන දින 28ක කාල සීමාවේදීය. විරෝධතා ඉල්ලුම්පත පිටපත් දෙකකින් ලබා දිය යුතු අතර එහි සඳහන් සියලු කරුණු නිවැරැදිව සම්පූර්ණ කර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාර දිය යුතු වේ.
තාවකාලිකව විදෙස්ගතවී සිටින පුරවැසියකුට තමාගේ නම ඡන්ද ලැයිස්තුවට ඇතුළු කරවා ගත හැකිද?
ඔව්. මෙරටට පැමිණි විට සාමාන්‍යයෙන් පදිංචි වන ලිපිනය යටතේ වාර්ෂිකව ලියාපදිංචි වීමට කටයුතු කළ හැකිය. විදේශගත ලිපිනය සහ ගමන් බලපත්‍රයේ අංකය ගණන් ගැනීමේ ආකෘතියේ සටහන් කළ යුතුය.
දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
ඉල්ලුම්පත් කැඳවීම
මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයන් ලෙස සලකනු ලබන්නේ 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත Ò1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අංක 7 වගන්තියේ විධිවිධාන අනුවය.
ඒ අනුව සෑම වසරකම (නීතියෙන් අන් අයුරින් නියම කර නොමැති නම්) ජනවාරි මස 31 දිනට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලුම්පත් කැඳවමින් ප්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීමක් පළ කෙරේ. කෙසේ වුවද ජනවාරි මස තුළ ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත්වී ඇත්නම් එම දැන්වීම ඡන්ද විමසීමේ දින සිට දින තිහක (30) කාලයක් ඉකුත් වීමෙන් පසු පළ කරනු ලැබේ.
දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ ඉල්ලීම පක්ෂයේ ලේකම්වරයා විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුවේ.
එහිදී ඉල්ලුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවාද?
1 පක්ෂ ව්‍යවස්ථාවේ පිටපත
2 පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ ලැයිස්තුව (පක්ෂයේ නිලධාරි ලැයිස්තුවට අඩුම තරමින් කාන්තා නිලධාරීන් එක් අයෙකු හෝ ඇතුළත් කිරීමට වග බලාගත යුතුය.)
3 පක්ෂයේ විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ
4 පක්ෂයේ තත්කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශය
5 දේශපාලන පක්ෂයක් වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සියලුම ලිපි ලේඛන හා ඒ පිළිබඳ වාර්තාවන්.
මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ, උපමාන හා මාධ්‍ය වාර්තා ඇසුරෙනි.
නුවන් මහේෂ් ජයවික්‍රම