“බිත්තර දාපු කෝපි එකක්”
“ඊ….”
“මොකද..”
“බිත්තර දාපු කෝපි..ඒකත් අමුවෙන්…”
“ඒකෙ රහ ඔයා දන්නෙ නෑනෙ..”
ඔහු හා අතිනත ගෙන නිවසට ආ දාට පසුදින පාන්දර වූ ඒ කතාබහ අදටත් මට එලෙසින්ම මතකය.
එදා සිට අද දක්වා කිසිදු වෙනසක් නොමැතිවම ඔහුගේ දින චර්යාව ඇරඹුණේ මා අතින් පිළියෙල වූ බිත්තර කෝපි කෝප්පයෙනි.
මාස කිහිපයක සිට කිසිදු කතා බහක් අප අතර නොවුණද මගේ අතින් ඔහු වෙනුවෙන් දිනපතා එය සිදු විය..
“වැඩේ හරි..දෙගොල්ලම වන්දිවලට අකමැති වුණ හින්දයි දෙගොල්ලොම ඩිවෝස් එකට කැමති හින්දයි වැඩේ ලේසි උනා”
සුදු කලිසමකින් හා සුදු කමිසයකින් සැරසී කළු කබායක් ඇඟ ලා ගත් නීතිඥ මහතා ජයග්‍රාහී ලීලාවෙන් අප අබිමුවේ සිටගත්තේය.
අරමුණකින් තොරව ඔහු මා අත තැබූ ලිපිගොනු දෙස බලා සිටියා විනා සිදුවන කිසිවක් පිළිබඳව මගේ සිතෙහි ප්‍රසාදයක් හට නොනැඟුණි.
මුළු උසාවි භූමිය පුරාවට නෙත් යොමමින් මා ඔහු සෙවූ බව ඔබට නොකියමි. මෙතුවක් ඉහිරී ගොස් තිබූ කසාදය නීතියෙන් මෙසේ අවසන් වීම පිළිබඳව අල්ප මාත්‍රයක් හෝ දුකක්ද මට නොමැති බව මම ඉඳුරාම කියමි. කර්කශ ඉඩෝරයකට හසුවී දිය බිඳක් බලාපොරොත්තුවෙන් හති ලමින් සිටිනා වියළි තණ පතක් සේ දුර්වර්ණ වූ ඔහුගේත් මගේත් යුග දිවියේ නවමු බලාපොරොත්තු කිසිවක් මේ වන විට ඉතිරිව නොතිබුණි. මියැදෙමින් තිබූ අපේ බැඳීමට පණ පොවන්නට ඔහුට මෙන්ම මටද තවදුරටත් අවැසි නොවීය.
දිවිහිමියෙන් මා ඔහුට පෙම් කළ බව සත්‍යයකි. එහෙත් වර්තමානය වන විට ඒ සා පිළිකුල් චරිතයක් මෙතුවක් නොව උපදිනා කිසිදු භවයක මා නොපතනා බව ඔබට ඉඳුරාම කියමි.
“ඔන්න බැන්දට පස්සෙ නම් ජොබ් බෑ හරිද..”
“අනේ .. කංචු..”
“ම්හු ම්හු..අනේ හුනේ ගාන්න නම් එපා. බෑ කිව්වොත් බෑ. මම ආස නෑ ඔයා වැඩ ඇරිල එනකං පාර බලාගෙන ඉන්න. දෙන්නම මහ පාන්දර කඩිමුඩියෙ පිටවෙලා ගිහින් මහ රෑ ගෙදර ආවම මොකද්ද ඒ ජීවිතේ. මන් එනකොට ඔයා වැඩ ඉවර කරල මන් එනකං පාර බලාගෙන ඉන්න ඕන, ඒක කොච්චර සතුටු හිතෙන හැඟීමක්ද..”
ඒ සා ආදරයක් හමුවේ පනස්දහසකට අධික වටුපක් ලද රැකියාවේ කිසිදු වටිනාකමක් මට නොවීය..
“දෝණි..අලුත් බැඳීම් හදාගන්න ඕන පරණ බැඳීම් කඩාගෙන නෙමේ ගෑනු දරුවෙක් ස්වාධීන වෙන එකේ වටිනාකම ඔයාට තේරෙන්නෙ තව කල් ගියාම..මම ප්‍රාර්ථනා කරනව දෝණි ඔයා එතකොට පරක්කු වැඩි වෙන එකක් නෑ කියල..”
මා රැකියාවට සමුදුන් බව දැන තාත්තා මට නොබැණ බැන්නේය. ඇත්තෙන්ම ඔහුගේ වදන් සත්‍ය වන්නට මහා කාලයක් ගත් වූයේද නැත..
කංචුක මටත් නොදැනී මා ඔහුගේ සිරකාරියක් කර ගත්තේ ඉතා සූක්ෂ්මවය. ආදරයේ නියම අරුත නොදැන මා ඔහුගෙන් ලද සියලු පීඩා ආදරයැයි සිතින් මවාගන්නට නිතැතින්ම පෙලඹවී සිටියෙමි. ඒ මගේ දුර්වලකම නිසාද නොඑසේ නම් කංචුකගේ සූක්ෂ්ම බව නිසාදැයි මම නොදනිමි.
උදෑසන බිත්තර කෝපි කෝප්පයෙන් පටන් ගන්නා ඔහුගේ දින චර්යාව කලක් යත්ම මට බොහෝ පීඩාකරී හැගීම් සමුදායක් ගෙන ආවේය..
රැකියාවට යාමට පෙර ඔහුට අනිවාර්යයෙන් උදෑසන ආහාරය මා අතින් පිළියෙල විය යුතුම විය. ඒහා සමඟම දිවා ආහාරයද ඔහුගේ උණුසුම් කෑම බඳුනේ තැන්පත් විය යුතුව තිබුණි. උදෑසන ආහාරයේ කිසිවක් දිවා ආහාරය සඳහා නොගන්නා ඔහු කිසිම විටක හදිසි අවස්ථාවක වුවත් කඩ කෑම නොගත්තේය. අහම්බෙන් හෝ දිනයක අවදි වීම පමා වී එක ආහාර වේලක් අතපසු වුවහොත් කුසගින්නේ සිටීමේ විපාක පවසමින් මානසිකව මා තළා පෙළන්නට ඔහු කිසිවිටකත් පසුබට නොවන්නේය. දිවා කාලය තුළ මට නිවසේ නිදාගැනීම තහනම් ය. එය සනාථ කර ගැනීම සඳහා ඔහු අවම පැය භාගයකට වරක්වත් නිවසට ඇමතුමක් ගන්නේය. පාන්දර තුනේ කණිසමට අවදි වන මා නැවත රාත්‍රී එකොළහ වන තෙක් එකසීරු ඔහු වෙනුවෙන් මගේ කාලය වැය කළ යුතු වන්නේය..සවස තේ පානයට යමක් සෑදීම අනිවාර්ය වන අතර, රාත්‍රී ආහාරය හතට පෙර පිළිෙයල කළහොත් ආහාර නිවී ඇතැයි දොස් ඇසීමට අනිවාර්යයෙන් සිදු වන්නේය. සරලවම කිවහොත් දවසේ කුස්සියෙන් එපිට ජීවිතයක් මට නොවීය.
සිතා ආ බලාපොරොත්තු වූ කිසිවක් නොලැබුණ තැන ජීවිතය නීරස වන්නට වැඩි දවසක් නොගියේය.තාත්තා බැලීමට හෝ නිවසින් පිටවීමට අවසරයක් නොලද මට මා වෙනුවෙන් වැය කිරීමට කිසිදු කාලයක් නොමැති විය. මා කංචුක විසින් මට සාදා දුන්න වූ සිපිරිගෙය තුළ තටු කපා දමනු ලැබීය.
තෘප්තියක සේයාවක් හෝ නොලද නිදි යහන ඔහුගේම අවශ්‍යතා වෙනුවෙන් පමණක් මා අතින් දිනපතා නැවුම් අතිරිලිවලින් සැරසිණ. ඒ සියල්ලටම වඩා පීඩාකාරී වූයේ මා වෙනුවෙන් ඔහු බොහෝ දෑ කරනා බව පවසන ඔහුගේ පුරාජේරුවය. රාත්‍රී කෑම වේල නීරස වන තරමට ඔහුගේ පුරාජේරු තීව්‍ර වූ අතර, ඔහුට අනුව මා ඔහුගේ දාඩිය මහන්සියෙන් යැපෙනා අසරණියකි.
“මට රස්සාවට යන්න එපා කිව්වෙ ඔයා..”
“ඔව් ඉතින්,”
“ඉතින් කියන්නෙ..මං මගේ රස්සාව අතඇරියෙ ඔයාට ආදරේ කරපු නිසා, දැන් මට ඔහොම කතා කරන්න එපා කංචුක. මං ඔයාගෙන් නැතුව වෙන කාගෙන්ද සල්ලි ඉල්ලන්නෙ”
රාත්‍රිය දෙදුම් දෙවනා තරමට මහ හඬින් සිනාසුණ ඔහු පැවසුවේ මට අදහාගත හැකි කතාවක් නොවේ..
“මටත් ඕන උනේ ඒකම තමා..හහ් හහ්..ඔයා මගෙන් ඉල්ලන්න, මං මත යැපෙන්න, එතකොට ඔයාට මගෙ අවශ්‍යතාවය විතරයි දැනෙන්නෙ. ඔයාට මොනව ඕන උනත් ඔයාට මතක් වෙන්න මාව..”
‘තමුසෙට පිස්සු මිනිහෝ’
මුවින් නොකියූ සිතින් මොරගෑ ඒ වදන් පෙළත් සමඟම ඔහු වෙනුවෙන් මෙතුවක් හද තුළ තිබූ සියලු හැඟීම් අඩපණ විය.
දුහුවිලි පොඳක පහස නොගැටෙන නිවසක්, එකදු හෝ කිළිටි රෙද්දක් නොමැති කිළිටි රෙදි බඳුනක්, හිස්ව තිබෙනා කසළ බඳුනක්, එකඳු හෝ තණකොළ ගසකින් අපවිත්‍ර නොවන මිදුලක් වෙනුවෙන් මා දිව රෑ වෙහෙසුණෙමි. හතිලමින් වෙහෙසුණෙමි, දැන් ඇතිය කියා කියනා හදවතට තරවටු කරමින් වෙහෙසුණෙමි. දිනය නිමා වී අවාසනාවන්ත නිදි යහනේදී පවා වෙහෙසුණෙමි. කිසිදු හැඟීමක් නොලද පහසේදී පවා තෘප්තිමත් බව හැඟවීමට සියුම් කෙඳිරියක් පෑවෙමි. ඔහුගේ සුරාන්තය ඉක්මන් වන්න යැයි දෙවියන් යැද්දෙමි..
දැන් ඇති යැයි හදවත මොරගාද්දී පවා මා හදවතට තරවටු කළෙමි. ඒ අන් කිසිවක් නිසා නොව, සංස්කෘතික රාමුව තුළ මා විවාහක ගැහැනියක්ව සිටිය යුතු නිසාය. අම්මා අහිමි දා සිට මා වෙනුවෙන් සිය දාඩිය මහන්සිය කැප කළ ඔහුට තවදුරටත් බරක් නොවිය යුතු නිසාය. ඒ සියල්ලටමත් වඩා ඔහු මගේ, මගේම පමණක් වූ තේරීමක් නිසාය.
එහෙත්,,…දරාගැනීම එතරම්ම පහසු නොවන්නේය..මම ඔබට නිසැකවම එක් දෙයක් පවසමි. ශාරීරික වේදනාවට වඩා මානසික වේදනාව දරුණු ලෙස ඔබ තළා පෙළා දමන්නේය…
සියල්ල අවසන…මා එක් ඇමතුක් ගත්තෙමි…
“තාත්තේ….”
“දෝණි…අපි යං..උසාවියෙ වැඩ ඉවරයි..ඔයා නිදහස්..හැමදාටම නිදහස්..ඔයා කලින් වැඩ කරපු තැන ලොකු මහත්තය එක්ක මම කතා කළා..හෙට ගිහින් ඒ මහත්තයව හම්බවෙන්න..”
මා ඉදිරියේ මහා පතාක යෝධයෙකු සේ ඔහු අදටත් මා වෙනුවෙන් පෙනී සිටින්නේය..
“තමුසෙට පින නෑ මං වගේ මිනිහෙක් එක්ක ඉන්න..”
කංචුක කොහේදෝ සිට මා ඉදිරියේ සිටගත්තේය..ඒ මටත් වඩා සුරූපී යුවතියකගේ අතින් අල්ලාගෙනය..
තාත්තා මගේ අතින් ඇද මා ඔහු වෙතට නතු කරගනිද්දී ඈ ජයග්‍රාහී සිනාවක් මවෙත පෑවාය..මට පෙනෙන්නට කංචුක ඇගේ කොපුලක් සිපගත්තේය..
මට සිනහවක් නැඟුණි. ඔව්, ඔබ කියෙව්වා හරිය. මට සිනහවක් නැඟුණි. ඒකාන්තයෙන්ම එය උපහාසය මුසු වූවක්මය..
“හෙට ඉඳන් බිත්තර කෝපි හදන්නෙ උඹ..”
සිත ඇතුළෙන් මා හඬනඟා සිනාසෙද්දී ඇගේ සිනහව අතුරුදන් වී ගියාය..
සමීරා අනුරාංගනි