මහනුවර, ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික කියවීම් කඳවුර විදුහල් භූමියේදී පසුගියදා (06) සුවිශේෂී ආකාරයෙන් පැවැත්විණි.
පන්ති කාමරයෙන් බැහැරව පොත් කියවීමේ සංස්කෘතියක් නැවත ආරම්භ කරමින් ගසක් උඩ සහ ගැලක ගමන් කරමින් පැල් කවි සහ ගැල් කවි ගායනා කිරීම ද මේ වැඩපිළිවෙළ යටතේ සිදු කෙරිණි.
කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්යක්ෂ සුජීවා එන්. වීරසුන්දර මහත්මියගේ මෙහෙයවීමෙන්, ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පති නලින්ද හේනේගම මහතා සහ 3 ශ්‍රේණියේ ගුරුවරු මේ කියවීමේ භාෂා කඳවුර සංවිධාන කළහ.
සවන්දීම, කථනය, කියවීම, ලිවීම ආදී භාෂා කුසලතා දරුවන්ට අත්පත් කරදීම, සිසු දරුවන්ගෙන් වර්තමානයේදී ගිලිහෙන කියැවීමේ ආසාව යළි සිසුන් තුළ ජනිත කිරීම මේ කඳවුර පැවැත්වීමේ අරමුණ විය.
කියවීමේ සහ ලිවීමේ යාන්ත්‍රික කුසලතා දීම, වින්දනාත්මක කියවීම, නිර්මාණශීලි කථනය, සිසු පරිකල්පනය සහ භාෂා ප්‍රයෝග, අලංකාර පිළිබඳ දක්ෂතා ප්‍රගුණ කිරීමට මඟපෙන්වන කියවීමේ ප්‍රදර්ශන කුටි 15කින් මේ කඳවුර සමන්විත විය.
කටුගස්තොට අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (සංවර්ධන ප්‍රාථමික) සේනානි රන්කොත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මේ කඳවුරට කටුගස්තොට කලාපයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ තිස්පොල සුමනරතන හිමි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පාලන) ගුණරත්න මැණිකේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ සහ ගලගෙදර කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ පාලිත හේරත් මහත්ම මහත්මීහු සහභාගි වූහ.
සන්ධ්‍යා කරුණාරත්න