Home » පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාමයේ නව විහාරාරාංග රැසක් සසුනට පුද කෙරේ

පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාමයේ නව විහාරාරාංග රැසක් සසුනට පුද කෙරේ

by sachintha
November 13, 2024 1:31 am 0 comment

පන්නිපිටිය, පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම ඇතුළු විහාරාරාංග විවෘත කිරීම දිවියාගහ යසස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැත්වුණි.

පන්නිපිටිය ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී, දර්ශනපති මැදිරිගිරියේ සාසනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භාරකාර මණ්ඩලයෙන් මේ පින්කම සංවිධාන කර තිබිණි. එංගලන්තයේ සහ මාළඹේ ධජ් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්න ජිනසේන මහතා, අධ්‍යක්ෂිකා වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරෝ මහත්මියට අයත්ව තිබූ දෙමහල් නිවස සහ භූමිය ඉකුත් ජූලි මස 20 වැනිදා සම්බුද්ධ ශාසනයට පූජා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථම වස් ආරාධාන පින්කම ද ඊට සමගාමීව එදින සිදු කෙරිණි.

ඒ අනුව විහාරස්ථානයකට අවැසි විහාරාංග රැසක් දෙස් විදෙස් දානපතීන්ගේ සහ දායක පින්වතුන්ගේ ආධාර උපකාර ඇතිව මාස තුනක් වැනි කෙටි කාලයකදී චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකොට එහි කොත් වහන්සේ නිරාවරණය කිරීම, සක්මන් ඉරියව්වෙන් ඉදිකළ හිටි පිළිමය, රන් වැට සහිත බෝධි ප්‍රාකාරය, ධර්ම ශාලා මන්දිරය, දොළොස් මහේ පහන සහ මෛත්‍රී බෝසත් පිළිමය ඉදිකොට විවෘත කිරීම මෙදින සිදු කෙරිණි. ඒ අනුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ දායකත්වය ඩුබායි රාජ්‍යයේ පදිංචි ව්‍යාපාරික ඩනික ගමගේ මහතා හා දිමුතු ගමගේ මහත්මිය විසිනි.

රන්වැට සහිත බෝධි ප්‍රාකාරය ඩුබායි රාජ්‍යයේ පදිංචි ව්‍යාපාරික රුසිකා කරුණාරත්න මහත්මිය හා කැනඩාවේ පදිංචි තුෂාර කරුණාරත්න මහතා ඇතුළු පවුලේ ඥාතීන් විසින් ඉදිකර තිබේ. මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන සම්බන්ධීකාරක ගයනී ජයවර්ධන මහත්මිය හා සමන්ත දියගුබදු මහතා විසින් දායකත්වය දරා තිබේ. සක්මන් ඉරියව්වෙන් ඉදිකළ හිටි පිළිම වහන්සේගේ දායකත්වය ඩුබායි රාජ්‍යයේ ජුමාරා සංවිධානයේ ක්‍රියාකාරීනී චමිලා මහත්මිය සහ රංජිත් මහත්මා විසින් වන අතර, ධර්මශාලා මන්දිරය එංගලන්තයේ පදිංචි ව්‍යාපාරික ප්‍රියන්තී ලොකුගේ මහත්මිය විසින් ඉදිකරදී ඇත. දොළොස්මහේ පහන එංගලන්තයේ පදිංචි ව්‍යාපාරික දුලානී අමල්කා ලියනගේ මහත්මිය විසින් ඉදිකරදී තිබේ.

මෙසේ ඉදිකළ අභිනව විහාරාරාංග සසුනට පූජාකළ අතර ධන පරිත්‍යාග කරමින් දායකත්වය දැරූ පින්වතුන්ට මහා සංඝරත්නය අතින් තිළිණ හා සන්නස්පත්‍ර දෙන ලදී. ඩුබායි රාජ්‍යයේ පදිංචි ව්‍යාපාරික මංගලිකා මහත්මිය විසින් ප්‍රදේශයේ දුවා දරුවන් 200 දෙනකුට පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් මීට සමගාමීව සංවිධාන කර තිබිණි.

මේ අවස්ථාවට පොළොන්නරුව මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානය, පන්නිපිටිය ජිනසේනාරාමය යන උභය විහාරාධිපති මැදිරිගිරියේ අස්සජි, පොළොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමි, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ අධිකරණ සංඝනායක නාහිමි, දෙපානම ධම්මින්ද විහාරාධිපති දකුණ කැබිල්ලේවල නන්දාලෝක බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක නාහිමි, ස්වර්ණමාලී විහාරාධිපති ශාස්ත්‍රපති දරණාගම කුසල විශුද්ධි නාහිමි, පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති හා සව්සිරි ව්‍යාපාරයේ අධිපති ගුණසේකර මහතා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT