අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුල අද (12) අළුයම උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචි සුජාන් දිසානායක නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
කුලී පදනම මත ගත් නිවසක් තුල රැඳී සිටි පුද්ගලයෙකු හා යහළුවන් දෙදෙනෙකු ඊයේ( 11) රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී යහළුවන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් යහළුවෙකු විසින් උදැල්ලකින් සිදු කල පහර දීමකින් මරණකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
පහර කෑමට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පහර දීමට සම්බන්ධ 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
එම දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණය පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් සිදු කරයි.