Sunday, April 20, 2025
Home » කරදඇළට මල අපද්‍රව්‍ය හරවා බදුලු ඔයත් අපිරිසුදු වෙලා

කරදඇළට මල අපද්‍රව්‍ය හරවා බදුලු ඔයත් අපිරිසුදු වෙලා

-දුගඳ හා මදුරුවන් බෝවීමෙන් ප්‍රදේශවාසීන් පීඩාවේ

by sachintha
November 12, 2024 2:59 am 0 comment

ඇළට හැරවූ මලාපවහන බට සීල් කළා: කිහිපදෙනකුටම නඩුත් දැම්මා – බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක

බදුල්ල කරදඇළ නිසි පිරිදි සකස් කර නොමැතිව මලාපවහන අපද්‍රව්‍ය පවා එම ඇළ මාර්ගය ඔස්සේ බදුලු ඔයට ගලා යෑම නිසාවෙන් බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ පවුල් රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

බදුල්ල නගර මධ්‍යයේ විහාරගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම කරදඇළ ඔස්සේ නගරයේ කුඹුරුයායට එකල කුඹුරු වගාවට අවශ්‍ය ජලය ලබාගත් බවද එම ජනතාව පවසති. විහාරගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම කරදඇළ ආසන්නයේ නගරයේ ප්‍රසිද්ධ පාසලක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම ද සිදු කරන අතර, වැසි දිනවලදී මෙම කරදඇළට ඇතැම් පිරිස් නිවාසවල වැසිකිළි වළවල් හැරවීමෙන් ප්‍රදේශයේ පවතින දුර්ගන්ධය නිසාවෙන් නිවාසවල පවා සිටීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

බදුල්ල විහාරගොඩ ප්‍රදේශවාසියකු වන එල්.එච්. ප්‍රේමසිරි (63) මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“බදුල්ල නැඟෙනහිර වසමේ 78 බී විහාරගොඩ ග්‍රාම සේවා වසමේ තමයි මේ කරදඇළ පිහිටා තිබෙන්නේ.

පවුල් 20ක් පමණ මෙම ඇළ ආසන්නයේම නිවාසවල පදිංචිව සිටිනවා. නමුත් මේ ඇළ තවම නිසි පරදි සකස් කර නැහැ. කලින් කරදඇළ ඔස්සේ තමයි බදුල්ලේ හිරි කුඹුරු යායට වතුර අරගෙන කුඹුරු අස්වැද්දුවේ. නමුත් දැන් එම කුඹුරු පුරන් වෙලා. ඇළත් විනාශ වෙලා. වැසි දිනවලදී විශාල ජල පහරක් මේ ඇළ හරහා ගලා බසිනවා. එම ජල පහරත් සමඟ ඇතැම් නිවාසවල උදවිය වැසිකිළි වළවල් මේ ඇළට හරවනවා. වැස්ස වෙලාවට මේ පැත්ත පළාතේ අපට ගෙවල්වලවත් ඉන්න බෑ ඒ තරම් ගඳයි. ඇළේ ගලා යන වතුර තනිකරම කළු පාටයි. අපි මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින් කොතරම් දැනුම්වත් කළත් තවම විසඳුමක් ලැබුණෙ නෑ.”

ප්‍රදේශවාසී එල්.එච්. දිස්නා රංජනී (69) මෙසේ පැවසුවාය.

“අපි මෙහි උපන් දා සිටම පදිංචි වෙලා ඉන්නෙ. නමුත් දැන් අපි හරි අසරණ වෙලා මේ නගරයේ ඉඳලා.

මේ ඇළ හදලා දෙන්න කියා අපි අනන්තවත් බලධාරින්ට කිව්වා. නමුත් මේ වනතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නෑ. මැසි මදුරුවන් පිරිලා. වැසි කාලයට ඉන්න බෑ ඇළට සමහර අය වැසිකිළි හරවලා. ගෙවල් ඇතුළෙ ඉන්න බෑ. කෑමක් බීමක් කන්න බෑ මේ ගඳ නිසා. කුඩා දරුවන් නිතරම ලෙඩ වෙනවා. මේ ඇළේ ගලා යන අපද්‍රව්‍ය සියල්ල බදුලු ඔයට ගලා ගිහින් බදුලු ඔයත් අපිරිසුදු වෙනවා. අපි ඉල්ලන්නේ එක දෙයයි. කරුණාකරලා මේ ඇළ නිසි පිරිදි හදලා දෙන්න. වැසිකිළි මලාපවහන අපද්‍රව්‍ය ඇළට හරවා දමන උදවිය අත්අඩංගුවට ගෙන නීති ක්‍රියාමාර්ග ගන්න.”

බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.වී. තිලකසිරි මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“මේ සම්බන්ධයෙන් අපට ජනතාවගේ පැමිණිලි රැසක් ලැබුණා. බදුල්ල නගරයේ ඇතැම් හෝටල්වල, නිවාස, වෙළෙඳසල්වල ඇති වැසිකිළි වළවල් බදුලු ඔයට හරවා තිබූ කිහිපදෙනකුට එරෙහිව අපි අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඊට අමතරව එසේ මලාපවහන අපද්‍රව්‍ය ඇළ මාර්ගයට හරවා තිබූ නිවාස කිහිපයක බට අපි සීල් කළා. මේක හුඟක් වෙලාවට සිදු වෙන්නේ වැසි වසින වෙලාවට. ඒ වෙලාවට කොහෙන්ද මේක අරින්නෙ කියලා හොයාගන්න අමාරුයි. නමුත් අපි නගර සභාවේ සේවක පිරිස දිගින් දිගටම වැටලීම් කරනවා මේ සම්බන්ධයෙන්. මේ සඳහා ජනතාවගේ සහායත් අපට අවශ්‍යයි.”

සොරණාතොට සමූහ – සී.ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT