Home » ඉදිරි මාස තුන ඇතුළත එප්පාවල පොස්පේට් නිධියේ පොහොර නිෂ්පාදනය අරඹනවා

ඉදිරි මාස තුන ඇතුළත එප්පාවල පොස්පේට් නිධියේ පොහොර නිෂ්පාදනය අරඹනවා

-මහාචාර්ය ගෝමික උඩුගමසූරිය

by sachintha
November 12, 2024 1:23 am 0 comment

එළවළු, පලතුරු සහ වී වැනි කෙටි කාලීන භෝග වගා කරන ගොවීන්ට අඩු මිලට පොහොර දීමට ඉදිරි මාස තුන ඇතුළත එප්පාවල පොස්පේට් නිධියේ පොහොර නිෂ්පාදනය ආරම්භ කරන බව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ප්‍රමුඛ පෙ‍ළේ විද්‍යාඥයන් පිරිසක් පසුගියදා (10) එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති සැකසුම් කමිටුව නියෝජනය කරමින් මම මේ අවස්ථාවට සහභාගී වෙනවා. විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේදී අපේ රටේ පර්යේෂණ හා සංවර්ධනය සඳහා අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කර රටේ ආර්ථිකයට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘති ඇරඹීම පිළිබඳව අපි යෝජනා කළා. එම යෝජනාවලියේ කෙටි කාලීන ව්‍යාපෘතියක් යටතේ අපේ රටේ පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදු කළත් ඒවා ආර්ථිකයට සම්බන්ධ කරගෙන නෑ. එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධව දිග කතාවක් තියෙනවා. එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධව පර්යේෂණ කර ඉවරයි. ඒ නිසා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අපි තීරණය කළා. පොස්පේට් කියන්නේ විශාල සම්පතක්. නමුත් ඒක අපි ප්‍රයෝජනයට ගෙන නෑ. අපි දැන් කරන්නේ පොස්පේට් දේශීයව නිෂ්පාදනය කර ඉදිරියට ගන්න. දැනට පොස්පේට් සම්බන්ධ පොහොර අපි ආනයනය කරනවා. එතකොට පිටරටට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි වෙනවා. අපට අඩු මිලට මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. එයින් ගොවියාට අඩු මිලට හොඳ මට්ටමේ පොහොර ලැබෙනවා.

ස්වාභාවික පොස්පේට් නිධිය සම්පූර්ණයෙන්ම අයිති රජයට. ඒකෙ කිසිම වෙනසක් වෙන්නේ නෑ. නිධියේ කැණීම් කළ හැකි වන්නේ ලංකා පොස්පේට් සමාගමට. ඒ කියන්නේ රජයට පමණයි. එම පොස්පේට්වලින් කෙටි කාලීන භෝග සඳහා පොහොර නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයේ සහාය ගැනීමට අපේක්‍ෂා කරනවා. එතැනට වෙනකන් පුද්ගලික අංශයේ කිසිම සම්බන්ධතාවක් නෑ.

ඒ සඳහා දැනටමත් ආයෝජකයන් තුන්දෙනෙක් පමණ කැමැත්ත පළ කර තිබෙනවා. නියමිත ප්‍රසම්පාදන වැඩපිළිවෙළ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

අපි උත්සාහ කරන්නේ සිංගල් සුපර් පොස්පේට් කියන පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට. මේ තරම් පොහොර විශාල ප්‍රමාණයක් අප සතුව තියාගෙන වසර පනහක පමණ කාලයක් අප සිදු කළේ මේ පොහොර කුඩු කර දීර්ඝ කාලීන භෝග වගා සඳහා යෙදවීම පමණයි.

එප්පාවල පොස්පේට් නිධියේ තියෙන සංයෝගය ඒ විදිහටම එළවළු, පලතුරු සහ වීවලට යොදන්න බෑ. ඒක වෙන සංයෝගයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි. ඒ සම්බන්ධ සාර්ථක පර්යේෂණ සිදු කර තියෙනවා. ඒ අනුව නව රජයේ පත්වීමත් එක්ක නිෂ්පාදනය ඇරඹේවි. ඒකත් එක්ක මෙරට ගොවීන්ට ඉතාම අඩු මුදලට දේශීය නිෂ්පාදනයක් විදිහට පොහොර ගන්න පුළුවන්. ඒ හරහා විදේශ විනිමය ඉතිරි වෙනවා. රැකියා උත්පාදනය වෙනවා. අඩුපාඩුවකින් තොරව පොහොර ගත හැකි වෙනවා. දේශීය කර්මාන්තයක් බිහි වෙනවා. එප්පාවල පොස්පේට් නිධිය ඵලදායී වැඩකට යෙදවෙනවා.

සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් යුක්තව පුද්ගලික අංශයට මේ ව්‍යාපෘතිය සඳහා මැදිහත්වීමට අපි අවස්ථාව දෙනවා. පුද්ගලික සහ රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අපට හැකියාව තිබෙනවා. මාස තුනක් ඇතුළත මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

කාලයකට පෙර සිදු කරන ලද පර්යේෂණ අනුව පොස්පේට් ටොන් මිලියන 60ක් පමණ මේ නිධිය සතු වන බව ගණන් බලා තිබුණත් පූර්ණ නිධිය කොයිතරම්ද කියා අපි දන්නේ නෑ. භූගර්භ විද්‍යාඥයන්ගේ සහාය ගෙන ස්ථිරවම කොයිතරම් පොස්පේට් ප්‍රමාණයක් තියෙනවා ද කියලා බැලිය යුතුයි.”

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT