පසුගිය කාලයේ නීතියේ පාලනය කඩා වැටුණා
අපරාධවලට නඩු පවරන්න කාලාවරෝධයක් නැහැ
ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා වසර 43කට වැඩි කාලයක් නීතිඥ වෘත්තියේ ගරුත්වය, අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අත්දැකීම් බහුල නීතිඥයෙකි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා වන ඔහු නීතිඥ වෘත්තියේ සුරක්ෂිතතාව පිළිබඳ සහ අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ රජයේ උත්සාහය ගැන දැක්වූ අදහස් මෙසේය.
l පවුල් පසුබිමක් නොමැතිව නීතිඥ වෘත්තියේ ඉහළට යා නොහැකි බවට මතයක් ස්ථාපිතව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
මගේ මවුපියෝ කවුරුවත් නීතිඥයෝ නෙවෙයි. එහෙම බැලුවම මට නීතිඥ පසුබිමක් නැහැ. මගේ ගම කෑගල්ලේ තෝලංගමුව. පියා සිවිල් සේවකයෙක් නිසා අපට කොළඹ ජීවත් වෙන්න වුණා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු මා නීති විද්‍යාලයට ඇතුළත් වුණා.
එතැනදි මට තෝරාගැනීමක් කරන්න වුණා. එකම වසරකදි කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය, විදේශ සේවය හා නීති විද්‍යාල ප්‍රවේශය කියන අවස්ථා තුනම මට ලැබුණා. එතැනදි මා නීති වෘත්තිය තෝරාගත්තා.
l නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධවීමට තීරණය කළේ ඇයි ?
1981දී මා නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නා. ඉන්පසු කෙටි කාලයක් ජනාධිපති නීතිඥ තිවංක වික්‍රමසිංහ මහතා යටතේ අපරාධ නඩු සම්බන්ධයෙන් හා ජනාධිපති නීතිඥ නේරු ගුණතිලක, ආචාර්ය ෆයිස් මුස්තාපා යන මහත්වරු යටතේ සිවිල් නඩු සම්බන්ධයෙන් පුහුණුවක් ලැබුවා.
අනතුරුව 1983දී නීති දෙපාර්තමේන්තුවට බැඳුණා. එහි වසර 20කට වැඩි කාලයක් සේවය කළා. දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් නීති ක්ෂේත්‍රයට දායකත්වය සැපයුවා. නමුත් සරත් එන්. සිල්වා මහතාගේ කාලයේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව පුද්ගලික නීති සේවයේ කටයුතු කළා.
නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් කටයුතු කිරීමේ වුවමනාවක් මට හැමදාම තිබුණා. දැනටත් මා පෙනී සිටින නඩුවලින් අඩක් පමණ නොමිලේ පෙනී සිටින නඩු. නීතිඥන් වන අපෙන් සමාජය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අමතර වගකීමක් බලාපොරොත්තු වෙනවා.
l නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට ඔබ කැපී පෙනෙන දායකත්වයක් දක්වා තිබෙනවා. මේ ගමනේ වැදගත්ම අවස්ථාව මොකක්ද ?
නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප දිගින් දිගටම පෙනී හිටියා. කවදාවත් එම මාර්ගයෙන් බැහැර වුණේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි අවධියේ සූරියකන්ද සමූහ වළ පිළිබඳ පරීක්ෂණවලට සම්බන්ධ වුණා. එය ඉතාම දුෂ්කර කටයුත්තක්. අලුත් අත්දැකීමක්.
2010 – 2015 අතර කාලය නීතියේ ආධිපත්‍යය බරපතළ විදිහට අභියෝගයට ලක් වුණා. ඒ අවස්ථාවේදී නීතිඥ සංගමයේ අනුමැතිය ඇතිව මා ඉදිරිපත් වුණා. මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශනවලට නීතිඥ සංගමය වෙනුවෙන් සම්බන්ධ වුණා. ඒවගේම රතුපස්වල හා පස්යාලේ වෙඩි තැබීම්වලදී පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. මේ ආකාරයට නීතියේ පාලනය වෙනුවෙන් අප අඛණ්ඩව පෙනී සිටියා.
බලයේ සිටි ආණ්ඩුව ශිරානී බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නීති විරෝධී ආකාරයට තනතුරෙන් නෙරපීමට කටයුතු කළ අවස්ථාවේ අප එයට එරෙහිව හඬක් නැඟුවා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සභාපති තනතුරට පත්වීමෙන් පසු ඔහුගේ ආරාධනය පරිදි 2020-2022 කාලයේ මා නියෝජ්‍ය සභාපති හැටියට කටයුතු කළා. අපට එක්ව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බොහෝ දේවල් කරන්න පුළුවන් වුණා.
මේ කාලයේදී ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභයගේ නිවෙස අසල පිටකෝට්ටේ ප්‍රදේශයේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුණා. පොලීසිය උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගෙන අප්‍රේල් 01දා උසාවියට ඉදිරිපත් කළා.
ජනතාවගේ සාධාරණ ඉල්ලීමක් වන උද්ඝෝෂණ අයිතිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්න නීතිඥ සංගමය තීරණය කළා. එදා නීතිඥයන් 600කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඔවුන්ට ඇප ලැබෙන තෙක් රාත්‍රී 11 දක්වා උසාවියේ රැඳී සිටියා. විජයදාස ලියනාරච්චි නීතිඥවරයා 1987 වසරේ දී ඝාතනය කළ අවස්ථාවේ නීතිඥ ප්‍රජාව අතරින් මේ තරම් බලවත් හඬක් මතු වුණේ නැහැ.
ඉන්පසු මාවනැල්ලේ සිදුවීමේදිත් අප පෙනී සිටියා. මේ මැදිහත්වීම් නිසා ජනතාව තුළ නීතිඥ ප්‍රජාව පිළිබඳ විශාල විශ්වාසයක් ගොඩනැඟුණා. නමුත් පසුකාලයේ සිදුවූ අයථා ක්‍රියා නිසා සංගමයේ ගෞරවයට බරපතළ ලෙස හානි වුණා. අහිමිව ගිය කීර්තිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට නීතිඥ සංගමයේ සභාපති ධුරය භාර ගන්නා ලෙස නීතිඥ ප්‍රජාවගෙන් ඒකමතික ආරාධනයක් ලැබුණා. ඒ ඇරියුම භාර ගෙන කෙටි කාලයක් තුළදි විශාල වැඩ කොටසක් කළා.
l ජනතා අයිතිවාසිකම්වලට අමතරව නීති ප්‍රජාවේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් නීතිඥ සංගමයට තිබෙනවා. මේ සඳහා ඔබේ වැඩපිළිවෙළ කුමක්ද ?
කනිෂ්ඨ නීතිඥ ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මට අවබෝධයක් තිබෙනවා. ඔවුන්ට පුහුණුව දිය යුතුයි. ජ්‍යෙෂ්ඨ නීතිඥයන් හැටියට ඒ ගැන අපට වගකීමක් තිබෙනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම, කරුණු දැක්වීම, සම්බන්ධයෙන් කනිෂ්ඨ නීතිඥවරු පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට මා කල්පනා කරනවා. පසුගියදා පැවති “ආසියානු නීති සමුළුවේදී” මා මැලේසියාවේ නීතිඥ සංගමයෙන් සහාය ඉල්ලා සිටියා. ඒ දායකත්වය දෙන්න ඔවුන් එකඟ වුණා.
අපගේ සම්බන්ධතා අනුව වගකීම භාර ගෙන මාසයක් වැනි කෙටි කාලයක් තුළදී අධ්‍යයන වැඩසටහන් 3ක් ආරම්භ කරන්න පුළුවන් වුණා. ඉදිරියේදි ක්‍රමවත් වාර්ෂික වැඩ සැලැස්මක් දක්වා එය දියුණු කරන්න මා බලාපොරොත්තු වෙනවා. නීතිඥ සුබසාධනය අපගේ සංගමයේ ප්‍රමුඛ අරමුණක්. ඒ සඳහා පියවර ගත යුතුයි. එහෙම කරන්න බැරි නම් තවත් මෙහි රැඳී සිටීමෙන් වැඩක් නැහැ. ඒ සඳහා මට සැලැස්මක් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ සාකච්ඡා කර පුහුණු වැඩසටහනක් ඇරඹුවා. ඒ වගේම එංගලන්තයේ ග්‍රිනිච් විශ්වවිද්‍යාලය සමඟ එක්ව කනිෂ්ඨ නීතිඥවරුන් සඳහා වාර්ෂික පශ්චාත් උපාධි වැඩසටහනක් ආරම්භ කළා. කෙටි කාලයක් තුළදී මේ කටයුතු ආරම්භ කිරීමට අප සමත් වුණා. එහි පළමු අදියර මේ වසරේදී ආරම්භ වෙනවා. ඒ අනුව කනිෂ්ඨ නීතිඥවරුන්ට අධ්‍යයන ගාස්තුවලින් මුළුමනින්ම නිදහස්ව පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථාව ලබා දෙනවා. මෙය සංගමයක් ලෙස අප ලද සුවිශාල ජයග්‍රහණයක්.
l සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටිමේදි නීති වෘත්තිකයන්ට පොලීසියෙන් බාධා සිදුවන අවස්ථා වාර්තා වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය නඩුවලට පෙනී සිටින නීතිඥයන්ට එරෙහිව සමාජයේ මතයක් හදන්න උත්සාහ කරන අවස්ථා දකින්න ලැබෙනවා. මේ ගැටලු ගැන සංගමයේ ප්‍රතිචාරය කුමක්ද ?
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සහායවීම නීතිඥවරයකුගේ පරම යුතුකමක්. එහිදී සේවාදායකයා දෙන උපදෙස් අනුව අප කටයුතු කළ යුතුයි. නීතිඥවරයා සහ සේවාදායකයා අතර පවතින මෙම වරප්‍රසාදලත් සම්මුතිය සාක්ෂි ආඥා පනතේ 126 වැනි වගන්තිය යටතේ පිළිගෙන තිබෙනවා. වෙනත් කිසිම වෘත්තියකට එවැනි වරප්‍රසාදයක් නැහැ. නීතිඥ වෘත්තියේ වරප්‍රසාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ සංගමය කටයුතු කරනවා. නීතිඥයකුට ගැටලු ඇති වුණොත් ඒ අනුව අප පෙනී සිටිනවා.
යුක්තිය පසිඳලීමේ කටයුත්තේ දී අප අධිකරණ නිලධාරින් හැටියට උසාවියට සහාය දක්වනවා. පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට සහාය දක්වන ආකාරයටම පුද්ගලික නීතිඥවරුන්ද සහාය දක්වනවා.
ඒ වගේම නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ සංගමයට අමතර වගකීමක් තිබෙනවා. ඒ සඳහා රටේ ඕනෑම අධිකරණයක් ඉදිරියේ පෙනී සිටින්න අප සූදානම්.
l යුද්ධයේ අවසාන කාලයේදී සිදුවූවා යැයි කියන ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා එල්ලව තිබෙනවා. හේග් සම්මුතිය යටතේ විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් ඔබට අත්දැකීමක් රැසක් තිබෙනවා. මේ පසුබිම තුළ මවුබිම වෙනුවෙන් දායකත්වයක් දෙන්න හැකියාවක් ලැබුණද ?
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයෙන් සම්මත වූ නීති සම්මතයකින් 1993 වසරේදී අන්තර්ජාතික යුද අපරාධ විනිශ්චය අධිකරණය පිහිටුවීම සිදු වුණා. නෙදර්ලන්තයේ හේග් නුවර එම අධිකරණය ස්ථාපිත කර තිබෙනවා. හේග් සම්මුති 4ක් හා අතිරේක සම්මුති 4ක් මඟින් මේ කටයුතු පාලනය වෙනවා. මා එයට බැඳී 1995 සිට වසර 10ක් සේවය කළා. අපේ රටෙන් එම අධිකරණයට තෝරා ගත් මුල්ම නීතිවේදියා මමයි.
රෙජිස්ට්‍රාර් කාර්යාලය, නඩු මෙහෙයවීමේ කාර්යාලය, අධිකරණය වශයෙන් හේග් අධිකරණයේ අංශ 3කින් සමන්විතයි. මා එහි නඩු මෙහෙයවීමේ කාර්යාලයේ නීති නිලධාරියකු හැටියට සේවය කළා. ඉතාම භාරධූර වගකීමක්.
යුද්ධයේ අවසාන කාලයේ සිදුවූණා යැයි කියන වැරැදි සම්බන්ධයෙන් දේශීය වශයෙන් විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාව 2010 වසරේ ජාතික නීති සමුළුවට මා පෙන්වා දුන්නා. අප මේ කාරණය මතු කරන විට අන්තර්ජාතික වශයෙන් ඒ ගැන මතයක් ඇතිව තිබුණේ නැහැ.
අමෙරිකාව පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. ජාත්‍යන්තර බලපෑම් එල්ලවන විට 2010දි ජනාධිපති කොමිසමක් පත් කළා. එම කොමිසමේ සාමාජිකයෙක් හැටියට මා කටයුතු කළා. චෝදනා විමර්ශනය කළ යුතු බව අප රජයට පෙන්වා දුන්නා. මේවා යට ගහන්න පුළුවන් දේවල් නෙමෙයි. අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් කාලාවරෝධයක් නැහැ. ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්න පුළුවන්.
l නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සිට ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් නැවත වරක් කරළියට ගෙනාවා. නීතියේ පාලනය ස්ථාපිත කිරීමේදී මේ කාරණය වැදගත් වන්නේ කොහොමද ?
පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් යහපත් අංග තිබෙනවා. ඒ වගේම ජනතාව පීඩාවට පත්ව කරන නීති කොන්දේසි ද තිබෙනවා. ඒවා වෙනස් විය යුතුයි. නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය සංස්ථාපනය කිරීමට විධායක ජනාධිපති ධුරයේ සංශෝධන විය යුතුයි.
94 සිට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ මේ ගැන කිව්වා. ජවිපෙ ඒ වෙනුවෙන් සුවිශේෂ කැප කිරීම් කළ පක්ෂයක්. තමන්ගේ අපේක්ෂකයා පවා ඉවත්කර ගත්තා. අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේදී පෙන්වා දුන්නා.
ඒ සඳහා අවශ්‍ය ශක්තිය රජයට මහමැතිවරණයෙන් ලැබේ යැයි අප බලාපොරොත්තු වෙනවා. 2/3ක බලයක් නොලැබුණොත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතිෂ්ඨාපනයට අවශ්‍යය සහායදීම විරුද්ධ පක්ෂයේ වගකීමක්.
l නීතිඥ සංගමයේදි සභාපති ධුරයට තරග කිරීමේ අදහසක් තිබෙනවාද ?
නීතිඥ සංගමයේ උසස් තනතුරුවලට පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පත්විය යුතු බවට අදහසක් ඇවිත් තිබෙනවා. මේ නිසා ඉදිරි නිලවරණයට ඉදිරිපත් වන ලෙස ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත බහුතර නීතිඥ පිරිසක් මගෙන් ඉල්ලීමක් කළා. ඒගැන මා කල්පනා කරනවා. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට ඇවිත් නැහැ. අවශ්‍ය වුණොත් ඉදිරිපත් වෙන්න සූදානම්.
චන්දන ජයවීර
ඡායාරූපය – මාලන් කරුණාරත්න