මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දීමට ජනාධිපති ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යෑමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (8) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී, ඉදි කර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්ත්වයක් මෙන්ම ගොවිබිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේද යන්න සොයා බලා ඒ සඳහා ස්ථීර විසඳුම් දීම විධිමත් අධ්‍යයනයකින් අනතුරුව සිදු කළ යුතු බව එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවෝ පැවසූහ. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් හා යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව පළ කළේය.
එසේම මේ සඳහා යෝජනාවලියක් සකස් කරන ලෙස උපදෙස් දුන්ජනාධිපති ලේකම්වරයා පේරාදෙණිය විශ්විවද්‍යාලයීය ඉංජිනේරු අංශය සිදු කරන අධ්‍යයනයේ වාර්තාව පදනම් කරගෙන මේ සඳහා විසඳුම් දෙන ලෙස උපදෙස් දුන්නේය.
ලවණ බාධකය හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට සිය ගොවිබිම් අහිමි වීම ඇතුළු ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් සිදු වන බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ ලේකම්වරයා, මේ තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම රජයේ හා නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කළේය.