පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලට අගතිදායක අන්දමින් අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන ව්‍යාපාරිකයකු ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (08) නියෝග කළේය.
මෙම නඩුව ඊයේ (08) ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් වන සහන් මාපා බණ්ඩාර, රුවන් පතිරණ සහ රශ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මෙම නඩුවේ 300 වන සාක්ෂිකරු වන වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ධම්මික ප්‍රියන්ත නමැත්තාය.
සාක්කිකරු පැමිණිල්ලට අගතියක් වන අන්දමින් සාක්ෂි ලබා දෙන බැවින් මොහුට දඬුවම් පමුණුවන ලෙස නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් මෙම සාක්ෂිකරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
වර්ෂ 2022 මැයි 09 වැනි දින පැවති ජන අරගලයේදී නිට්ටඹුව නගරය මැද, අරගලකරුවන් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කරනු ලැබ තිබිණි.