සමස්ත ලෝකයම දෑස් දල්වා බලා සිටි අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මැතිවරණය අවසන් විය. අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයකු හා හැමවිටම ආන්දෝලනාත්මක චරිතයක් වූ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් තේරී පත්වී ඇත. ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තියුණු තරගයක් ලබාදුන් කමලාදේවි හැරිස් තම පරාජය පිළිගත් අතර ට්‍රම්ප්ගේ ඉදිරි කටයුතුවලට සහාය දක්වන බව කියා ඇත. අමෙරිකන් දේශපාලනයේ විශේෂත්වය එයයි.
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය විග්‍රහ වන්නේ දුෂ්කර හා විශිෂ්ට එකක් හැටියටයි. එය ඓතිහාසික ජයග්‍රහණයක් බව වැඩි දෙනකුගේ මතය වී ඇත. ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයේදී ජයගෙන 45 වන අමෙරිකන් නායකයා ලෙස ක්‍රියාකළ අතර, 2020 ජනාධිපති තරගයේ දී පරාජයට පත්විය. ඔහු පරාජය නොපිළිගත් අතර, මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කළේය. තම පාක්ෂිකයන් විරෝධතාවලට යොමු කළේය. මේ සම්බන්ධයෙන් චෝදනා රැසක් ඔහුට එරෙහිව නීතිය ඉදිරිපිට පවතී.
ට්‍රම්ප්ට එරෙහිව අපරාධ නඩු තිස් ගණනක් විභාග වෙයි. ඒවායෙහි තීන්දුව කුමන පැත්තකට නැඹුරුවේ දැ’යි කිව නොහැකිය. එහෙත් අමෙරිකන් ජනාධිපතිවරයකුට එරෙහිව අපරාධ නඩු ගොනුවූ පළමු අවස්ථාව එය විය. ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වන්නේ ද බලවත් වෑයමකින් පසුවය. කුමක් වුව ඔහු පසුපස ප්‍රධාන බලවේග දෙකක් පැවතිණි. පළමු බලවේගය වන්නේ එරට ව්‍යාපාරික පන්තිය දෙවන බලවේගය වන්නේ “ඔරිජිනල්” සුදු ජාතික ප්රජාවය. මේ බලවේග දෙක හැමවිටම ට්‍රම්ප් ආරක්ෂා කළ බව ද ඔහු වෙනුවෙන් පෙනී සිටි බවද කිව යුතුය.
ඩිමොක්රටික් පක්ෂය පළමුව තම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර සිටියේ ජෝෂප් බයිඩන් හෙවත් වර්තමාන ජනාධිපතිවරයාය. එම තරගයේදී බයිඩන් හාස්‍යයට ලක්කරමින් ඔහු දුර්වල කිරීමට ට්‍රම්ප් සමත් විය. මේ අනුව ඩිමොක්රටික් පක්ෂයේ නව අපේක්ෂිකාව වූයේ උප ජනාධිපතිනි කමලා හැරිස්ය. ඇය ට්‍රම්ප්ට කරට-කර සටනක් ලබා දුන්නාය.
තරගය කෙතරම් උණුසුම් ද, කෙතරම් තියුණු ද යත්; පූර්ව නිගමන ලබාදිය නොහැකි විය. පූර්ව ජනමත විමසුම් බොරුවිය. සාමාන්‍ය පෙනුමට අනුව කමලාදේවි හැරිස් ඡන්ද මැෂිමක් බවට පත්ව සිටියා. ඇයගේ තර්ක හමුවේ ට්‍රම්ප් අසරණවූ අවස්ථා ද තිබිණි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් සටන අත්හළේ නැත. ඔහු දිනෙන්-දින අලුත් විය. ලෝක ධනවතා වූ ඉලොන් මස්ක් ඔහුගේ ශක්තියට පසුපසින් සිටියේය. ඡන්ද ප්‍රතිඵල නැරඹීම සඳහා මේ දෙදෙනා එක්ව සිටියහ. ඔව්හු මස්ක්ගේ මන්දිරයේ සිට සිනා සෙන්නට පටන් ගත්හ.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළේ ප්‍රධාන සටන් පාඨයක් පෙරමුණෙහි තබාගෙනය. එනම්; අමෙරිකාව යළි ගොඩනඟමු! ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බිහි කරමු! යන්නය. (Make America ! Great America!) රටේ වර්තමාන පසුබිම එම සටන් පාඨයට හොඳින්ම ගැළපුණේය. ට්‍රම්ප්ගේ තර්කය වූයේ අමෙරිකාවේ අභිමානය බිඳවැටී දිනෙන් දින අමෙරිකන් ජනතාවගේ ජීවන තත්ත්වය දුෂ්කර වන බවය. ඊට හේතුව වත්මන් පාලකයන්ගේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති බවද ඔහු පෙන්වා දුන්නේය. ඔහු බයිඩන් පාලනය දිගට හරහට විවේචනය කළේය. සාමාන්‍ය ජනතාව ඔල්වරසන් නැඟූහ.
(i) නාස්තිකාර වියදම්
(ii) වැරැදි බදු ප්‍රතිපත්තිය
(iii) දුර්වල විදේශ ප්‍රතිපත්ති
(iv) විරැකියාව ඉහළ යෑම
(v) කුඩා සමාගම් වැසීයෑම
(vi) ජීවන වියදම ඉහළයෑම
(vii) පොදු පහසුකම් බිඳ වැටීම
යනාදිය රටේ ආර්ථිකයට බලපෑම් ඇති කළ ප්‍රධාන සාධක විය. නිෂ්පාදනය පල්ලම් බැස්සේය. ආනයන වියදම් ඉහළ ගියේය. අමෙරිකන් නිෂ්පාදනවලට දේශීය වෙළෙඳපොළ තුළම ඉඩක් නොවීය. නවෝත්පාදන දකින්නට ලැබුණේම නැත. ලෝකයේ ප්‍රධාන ගැටුම් දෙකකට අමෙරිකාව මැදිහත්ව සිටියේය. එනම්; මැදපෙරදිග අරාබි – ඊශ්‍රායල් ගැටුම හා රුසියන් – යුක්රේන යුද්ධයයි. ඊශ්‍රායලය ගාසා තිරයට, බටහිර ඉවුරට, ලෙබනනයට පමණක් නොව; ඉරානයට පවා පහර දුන්නේ අමෙරිකාවේ සහයෝගය මතය.
යුක්රේනය රුසියාවට එරෙහි යුද්ධය පවත්වාගෙන ගියේ අමෙරිකාවේ ආර්ථික සහයෝගය මතය. සෙලෙන්ස්කි ජනාධිපතිවරයා වරින්වර අමෙරිකාවට සිය කෘතඥතාව පළ කළේය. අමෙරිකාව වරින්වර යුක්රේනයට ලබාදෙන ආධාර ඉහළ දැම්මේය. ට්‍රම්ප්ගේ මතය වන්නේ විදේශීය යුද්ධවලට අමෙරිකන් ජනතාවගේ බදු සල්ලි යටකිරීම වහාම නවත්වන බවය. පවතින යුද්ධ නවතා යළි සාමය උදාකිරීමට කටයුතු කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රමප් කියා තිබේ.
නව ජනාධිපතිවරයා; එනම්, අමෙරිකාවේ 47 වන ජනාධිපති ලබන ජනවාරි 20දා දිව්රුම් දී ධවල මන්දිරයේ සිට රාජකාරි ආරම්භ කරනු ඇත. ඔහුගේ පාලන තන්ත්‍රය ඉදිරියේ බරපතළ ගෝලීය ගැටලු කිහිපයක් ඇත.
(i) ලෝක සාමය සඳහා ක්‍රියා කිරීම පවතින යුද ගැටුම් සමථයකට පත්කිරීම සඳහා මැදිහත්වීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීම
(ii) චීනය, ජපානය, අරාබි රටවල්, රුසියාව සමඟ ආර්ථික සබඳතා තර කරගනිමින් ගෝලීය ගනුදෙනු සාධාරණීකරණය සඳහා ක්‍රියා කිරීම හා දුප්පත් රටවල ආර්ථිකය ගොඩනැඟීමට සහයෝගය ලබාදීම
(iii) දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විෂේශ අවධානය යොමු කිරීම හා විසඳුම් ක්‍රියාවලියක් සඳහා මූලිකත්වය ගැනීම
(iv) සාගතය, දිළිඳුකම පිටුදැකීම සඳහා ශක්තිමත් ගෝලීය වැඩසටහනක් ආරම්භ කළ යුතුව තිබේ. ඒ සඳහා ආහාර නිෂ්පාදනය වර්ධනය කළ යුතුය. එය අමෙරිකාවෙන්ම ආරම්භ කිරීම වඩා වැදගත්ය.
මේ වනවිටත් ප්‍රධාන යුද ගැටුම් දෙකක් ගෝලීය ආර්ථිකයට හා දේශපාලනයට තදින් බලපෑම් කරයි. ඒ අරාබි, ඊශ්‍රායල් ගැටුම හා රුසියන් – යුක්රේන් යුද්ධයයි. මේ ගැටුම් දෙකටම අමෙරිකාව සම්බන්ධය. මීට අමතරව අප්‍රිකාවේ, කොරියාවේ, තායිවානයේ, ඉන්දියාවේ ගැටුම් ඇතිවීමට අදාළ අවදානම් සහගත පරිසරයක් පවතී. අමෙරිකාවේ අනියම් බලපෑම් එම සංසිද්ධිවලට ද අදාළය. ඒ අනුව ලොව ප්‍රධාන ගැටුම් හා යුද්ධ නැවැත්වීමට අමෙරිකාවේ ඍජු මැදිහත්වීමක් වුවමනාය. හැබෑවටම මේ ගැටුම් කළමනාකරණයේ හැකියාව අමෙරිකාවට පවතී. ප්‍රධාන යුද්ධ දෙක නිසා මේ වනවිටත් බයිඩන් පාලන තන්ත්‍රය විවේචනයට ලක්වන අතර අමෙරිකාවට එරෙහි ලෝක ජනමතයක් ද ගොඩනැඟී ඇත. ට්‍රම්ප්ට අවශ්‍ය නම්; ලබන වසර ආරම්භයේදීම එම තත්ත්වය වෙනස් කළ හැකිය.
කමලාදේවි හැරිස්ගේ වේදිකාව වර්ණවත් විය. විචිත්‍ර විය. ටේලර් වැනි ලෝක ප්‍රසිද්ධ ගායිකාවෝ ගී ගායනා කළහ. රංගන ඉදිරිපත් කළහ. ඔබාමා වැනි දැවැන්ත චරිත ඇගේ වේදිකාවේ කතා පැවැත්වූහ. ප්රජාතන්ත්රවාදය, සාමය, පූර්ණ නිදහස, එම වේදිකාවේ ප්‍රධාන මාතෘකා විය. ට්‍රම්ප්ගේ වේදිකාව ඊට වඩා වෙනස්ය. ඔහු ශබ්ද නඟා කතා කළේය. නොනවත්වා කතා කළේය. තනිව රංගනයේ යෙදුණේය. ආර්ථිකය ඔහුගේ ප්‍රධාන මාතෘකාව විය. මේ අතර ඉලියෝන් මස්ක් එම වේදිකාවේ සිට සල්ලි බෙදා දුන්නේය. වඩාත් වටින්නේ ඩොලර් බව ඔහු සහතික කළේය. අමෙරිකන් ඩොලරය ඉදිරියේදී තවත් ශක්තිමත් වනු ඇත. එය ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවලට බලපාන්නේ කෙසේද?
****
“My name is John!”
“මගේ නම ජෝන්!”
“අලුත් යුද්ධ නැත. පවතින යුද්ධ සාමයෙන් කෙළවර විය යුතුය. අපට වඩා වැදගත් වන්නේ ආර්ථිකයයි. අමෙරිකාවේ අභිමානය තහවුරු වන අයුරින් ඩොලරය ශක්තිමත් කළ යුතුය. අමෙරිකන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතුය. අපේ ආරක්ෂාව තහවුරු කළ යුතුය. මගේ සිහිනය ශ්‍රේෂ්ඨ අමෙරිකාවකි. ඔබේ සිහිනය ද එය විය යුතුය.”
මීට
ඩී.ජේ. ට්‍රම්ප්