Home » DFCC බැංකුවට සම්මාන දෙකක්

DFCC බැංකුවට සම්මාන දෙකක්

by damith
November 9, 2024 1:09 am 0 comment

DFCC බැංකුව පසුගියදා පැවති දෙවැනි ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ වැඩසටහනේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උලෙළ පවත්වන ලද්දේ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දියානු වාණිජ මණ්ඩලය මඟිනි. ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් මෙම සම්මාන උලෙළ පවත්වන ලදි. මෙහිදී “Best Performance of Growth” සහ “Best Performance of Profitability” යන කාණ්ඩවල සම්මාන DFCC බැංකුව වෙත හිමි වූ අතර, එය බැංකුවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

ශක්තිමත් මූල්‍ය ක්‍රමෝපාය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තම හවුල්කරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කිරීම සඳහා කැපවීම යන සාධක හේතුවෙන් DFCC බැංකුව වෙත මෙම සම්මාන හිමි විය. බෙහෙවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ සැලකිය යුතු වර්ධනයක් සහ ලාභදායීත්වයක් වාර්තා කිරීම යනු සුවිශාල ජයග්‍රහණයකි. ඒ අනුව මෙම සම්මාන, නායකත්ව කණ්ඩායමේ ක්‍රමෝපායික දැක්ම සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඔස්සේ දුෂ්කර වාතාවරණයන් තුළ පවා සාර්ථක ලෙස ඉදිරියට යාමට DFCC බැංකුව සමත් වීම වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමක් ලෙස හැඳින්විය හැකි වේ.

සාර්ථකත්වය යනු හුදෙක් සංඛ්‍යාත්මක දත්ත මත පමණක් තීරණය වන දෙයක් නොවන බවත්, අඛණ්ඩව තම ප්‍රතිඥාවන් ඉටු කරමින් ක්ෂේත්‍රය තුළ නව ආදර්ශ සනිටුහන් කිරීමේ හැකියාවද මෙහිදී සැලකිල්ලට ගත යුතු බවත් මෙමඟින් මනාව පැහැදිලි වේ. “මෙම සම්මාන හිමිවීම අපට විශාල ගෞරවයක්. මෙමඟින් තිරසර වර්ධනය සහ ලාභදායීත්වය උදෙසා අප ක්‍රමෝපායික අවධානය යොමුකර තිබෙන ආකාරය නිවැරදි බව සනාථ වනවා. එමෙන්ම මෙය අපගේ කණ්ඩායමේ කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් බවත්, මෙමඟින් ඔවුන් තවදුරටත් දිරිමත් වනු ඇති බවත් මා විශ්වාස කරනවා. අභියෝගකාරි වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ පවා සාර්ථකවීමට අපට හැකි වී ඇත්තේ ඔවුන්ගේ මේ කැපවීම නිසයි. එමෙන්ම මෙය නව්‍ය විසඳුම් හඳුන්වා දෙමින් අපගේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කිරීම සඳහා අප දරන උත්සාහයට ලැබුණු ඇගයීමක් ලෙසත් හැඳින්විය හැකියි” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි තිමල් පෙරේරා මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT