Home » නවසීලන්ත පිල හෙට සිට ශ්‍රී ලංකා තරග බිමේ

නවසීලන්ත පිල හෙට සිට ශ්‍රී ලංකා තරග බිමේ

by mahesh
November 8, 2024 1:00 am 0 comment

නවසීලන්ත ක්‍රීඩකයෝ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිරි නැරඹීමට එක්ව සිටි අයුරු.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (9) රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මේ දෙපිල මෙරටදී විස්සයි20 තරගාවලියකට එක් වන්නේ වසර 4කට පසුවය. අවසන් වරට 2019 වසරේ සැප්තැම්බර් මස පල්ලෙකැලේදී තරග 3කින් සමන්විත තරගාවලියකට එක්වූ අතර, එහිදී 2-1ක් ලෙස තරගාවලිය ජය ගත්තේ නවසීලන්තයයි. කෙසේ වෙතත් මේ දෙපිල දඹුලු පිටියේදී විස්සයි20 තරගයකින් හමුවන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව තරග කළ සංචිතයම මේ තරගාවලියට එක් කර ඇති අතර, නවසීලන්තය මිචෙල් සැන්ට්නර්ගේ නායකත්වයෙන් තරගාවලියට එක් වෙයි. ඔහු මෙන්ම චරිත් අසලංක ද මේ කණ්ඩායමට දෙකට එරෙහිව නායකත්වය දෙන්නේ පළමු වරටය. නවසීලන්ත පිල ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා ඇති අතර, 26 හැවිරිදි පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක නේතන් ස්මිත් සහ 24 හැවිරිදි කඩුලු රකින ක්‍රීඩක මිචෙල් හේ පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබේ.

මේ අතර මේ තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඊයේ (7) සිට ආරම්භ කෙරිණි. ඒ අනුව රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කවුන්ටරයෙන් සහ කොළඹ විද්‍යා මාවතේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළු මඟින් මෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ද ටිකට් පත් ලබා ගත හැකිය.

මේ තරගාවලියට එක් වීම සඳහා නවසීලන්ත පිල කොටස් දෙකක් ලෙස මෙරටට පැමිණි අතර, ඔවුන් ඊයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිරි නැරඹීමට එක්ව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT