Home » මනුෂ්‍යත්වය ක්‍රීඩා පිටියේදී දේවත්වයට පත්වෙයි

මනුෂ්‍යත්වය ක්‍රීඩා පිටියේදී දේවත්වයට පත්වෙයි

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

තරගය ආරම්භ විය. මියුසියස්ට ලකුණු 14යි. ගල්නෑවට එක ලකුණයි. ලකුණු පරතරය ඇති නැති පරතරය වගේමය. තරගය නිමාවී‍මෙන් පසු ගල්නෑවේ පුංචි ක්‍රීඩිකාවන්ගේ සිත් නොරිදා තරගය නැරඹූ පිරිසක් ජයග්‍රාහී තිළිණ ලබාදීම කාගේත් කතාබහට ලක්විණි.

“අද පැරදුණාට කමක් නෑ. ලබන අවුරුද්දේ ඕගොල්ලෝ දිනන්න ඕනේ. හැබැයි සපත්තු දා‍‍ෙගන ඇවිත්. අපි යමු මාතර ටවුමට. කකුලට ගැළපෙන සපත්තු අර ගන්න” ජයග්‍රාහී මියුසියස් දියණියන්ගේ මවුපියෝ පිරිසක් පරාජිත ගල්නෑව ක්‍රීඩිකාවෝ සිප වැලඳ ගත්හ. එසැණින් ගල්නෑව නෙට්බෝල් ක්‍රීඩිකාවන් සමඟ මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාවහන් වෙළෙඳසලකට ගිය මියුසියස් මවුපියෝ තම මුදලින් සපත්තු මිල දී ගෙන තිළිණ කළහ. ගල්නෑව කනිෂ්ඨ විද්‍යාලයේ 13න් පහළ නෙට්බෝල් සිඟිත්තියන්ගේ දෑස් කඳුළෙන් තෙත් වනු දුටුවෙමි.

ආකල්පමය වශයෙන් මෙන්ම සමාජ හා සංස්කෘතික වශයෙන් ද වෙනසක් ඇවැසි කාලයක මනුෂ්‍යත්වය දේවත්වයට පත්වූ එවැනි අවස්ථාවක් පෙරේදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී නිමාවූ මයිලෝ පාසල් නෙට්බෝල් ශූරතාවලි‍යේදී දුටුවෙමි. කොළඹ මියුසියස් විදුහල හා ගල්නෑව කනිෂ්ඨ විද්‍යාලය අතර පැවති 13න් පහළ නෙට්බෝල් තරගයේදී ගල්නෑව ක්‍රීඩිකාවෝ ක්‍රීඩා පිටියට පැමිණියේ අඟහිඟකම් මැද සපත්තු නොමැතිවය. පාසල් 400ක නෙට්බෝල් ක්‍රීඩිකාවන් 4,000ක් සහභාගිවී සිටි මේ තරගාවලියේදී ගල්නෑව කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ පමණක් සපත්තු නැතිව ක්‍රීඩා කිරීම බො‍හෝ දෙනකුගේ අවධානයට ලක්වූහ.

මුදල් අගහිඟකම් කියාපාමින් ක්‍රීඩාවෙන් ඈත්වී සිටිනවා වෙනුවට තම චිත්ත ධෛර්යය මත තමන් සතු සම්පත්වලින් ජාතික තලයේ ක්‍රීඩා තරගයකට පැමිණි අනුරාධපුර, ගල්නෑව කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ට එම අපූරු තිළිණය ජීවිතයේ කිසිදිනෙක අමතක නොවනු ඇත.

ගල්නෑව යනු, ශ්‍රී ලංකාවේ, උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මහවැලි එච්. කලාපයේ පිහිටා ඇති කෘෂි කාර්මික නිජබිමකි. ඒ බිමේ වපුරන බීජවලින් සරු ඵල මුළු රටටම ලබා ගැනීමට නම් එකී බීජ වඩ වඩාත් සාරවත් විය යුතු බවට විශ්වාස කළ කොළඹ මියුසියස් විදුහල් මවුපියන්‍ගේ ආදර්ශයට ප්‍රණාමය පුද කළ යුතු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT