බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එල්ලවී ඇති මූල්‍ය චෝදනා හේතුවෙන් ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට එරට මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) කටයුතු කර තිබේ.
පසුගිය මස 2 වැනිදා එම ඒකකය විසින් ශකීබ්ගේ පෞද්ගලික හා ව්‍යාපාරික බැංකු ගිණුම් තොරතුරු සහ ඔහුගේ බිරියගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස දැනුම්දී තිබූ අතර, ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මේ පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මේ වන විට අමෙරිකාවේ රැඳී සිටින ශකීබ්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමන ආයතනය වන බංග්ලාදේශ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (BSEC), පැරමවුන්ට් ඉන්ෂුවරන්ස් හි කොටස් හැසිරවීමෙන් සුරැකුම්පත් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා එරට මුදලින් ලක්ෂ 50ක දඩයක් නියම කළේය.
ශකීබ් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අවාමි ලීගය සඳහා මගුරා-1 ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ අතර, හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු ශකීබ්ට එරහිව ද චෝදනා එල්ල විය. අඩබාර් පොලිස් ස්ථානයේ ගොනුකර තිබූ මිනීමැරුම් නඩුවකින් ද ඔහුට චෝදනා එල්ල විය.