Home » නව ව්‍යවසායකත්ව අවස්ථා වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරනවා

නව ව්‍යවසායකත්ව අවස්ථා වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කරනවා

නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ

by chanaka
November 8, 2024 10:57 am 0 comment

තරුණ තරුණියන්ගේ හැකියාවන් හඳුනාගෙන එය වෘත්තීය තත්ත්වයට ගෙන එමින් නව රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ කැස්බෑව පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා,

“වර්තමානයේ තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ රැකියා අවස්ථා සොයා ගැනීමයි. විශේෂයෙන් දේශීය හා විදේශීය වෙළෙදපොළ තුළ රැකියා අවස්ථා තිබුනත් ඒ සඳහා ඔවුන් තුළ වෘත්තීය කුසලතා අහිමිවීම ප්‍රධාන ගැටළුවක්ව පවතිනවා. එයට විසදුමක් ලෙස ඔවුන් තුළ සැගවුණු දක්ෂතා හදුනාගෙන රැකියා වෙළෙදපොලට ගැලපෙන ලෙස වෘත්තීය කුසලතා හා දැනුම නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන් රැකියා අවස්ථාවක් ලබා ගැනීම හා ව්‍යවසායකයකු ලෙස සිය අනාගතය ජය ගැනීමට නිර්මාණශීලි අදහස් හා ඔවුන්ගේ වෘත්තියභාවය වැඩි දියුණු කළ යුතුයි. එවිට තරුණ ප්‍රජාව අතර පවතින රැකියා විරහිතභාවයට විසදුම් සෙවිය හැකියි. තරුණ තරුණියන්ගේ අධ්‍යාපන, වෘත්තීය පුහුණු, රැකියා සඳහා ප්‍රවේශ වීම යන ගැටලු හදුනාගෙන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයක්.

ශ්‍රී ලංකාව පත්ව තිබූ ආර්ථික අර්බුදය නිසි කළමනාකරණය තුළින් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා කටයතු කරනු ලැබූවා. ඉදිරියේදී ආර්ථිකය සම්බන්ධයෙන් ගනු ලබන තීරණයන් එම ස්ථාවර ආර්ථික ක්‍රමය ඉදිරියට යෑම හෝ ආපස්සට යෑම තීරණය කරයි. ව්‍යවසායකයකු ලෙස අපේ රට ගොඩනැගිය හැකි ආර්ථික වැඩපිළිවෙලක් සමග මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. ඒ සඳහා අමුද්‍රව්‍ය හා සැපයුම මත යන ව්‍යාපාර වලට වඩා ශ්‍රී ලාංකීය සන්නානමය යටතේ විදේශීය වෙළෙදපොළට ප්‍රවේශ වීම වැදගත් වෙනවා. ඒ හරහා විදේශ විනිමය ඉපැයීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ඇති කළ හැකියි. එවැනි ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයව තිබෙනවා.

දුප්පත්කමින් තොර පොහොසත් මිනිසුන් ගොඩ නැංවීම සඳහා දේශපාලඥයා රට තුළ ආර්ථික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික යන කේෂ්ත්‍රයන්හි ගුණාත්මක වෙනසක් ඇති කළ යුතුයි. අපි ව්‍යවාසයකයින් ලෙස හෝ දේශපාලඥයින් ලෙස උසස් ජීවන මට්ටමක් ගතකරනු ලැබුවත් අවට සමාජයේ අපේම ජනතාව දුප්පත්කම තුළ පීඩාවට පත් වන්නේනම් එය ගැටළුවක්. එම තත්ත්වය වෙනස් කිරීමට සමාජය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව රනිල් විල්අද්දරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT