Home » මුල්වරට ශ්‍රී ලංකාවේ රට රැකියා නියෝජිතායතන 25ක්
සෞදියේ පැවති “සෞදි මෑන්පවර් එක්ස්පෝ - 2024”ට

මුල්වරට ශ්‍රී ලංකාවේ රට රැකියා නියෝජිතායතන 25ක්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

සෞදි අරාබියාවේ පැවති ‘සෞදි මෑන්පවර් එක්ස්පෝ – 2024’ සඳහා පළමුවරට ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතායතන 25ක් එක්ව තිබේ.රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතායතන 25කට ප්‍රථමවරට සෞදි අරාබියාවේ මානව සම්පත් සහ මෑන්පවර් ප්‍රදර්ශනය සඳහා සහභාගි වීමට පහසුකම් සැලසූ බව සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

“සෞදි මෑන්පවර් එක්ස්පෝ – 2024” දින 4ක පමණ කාලයක් රියාද් නගරයේ දී පවත්වා තිබෙන අතර සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කරන ලදි. සෞදි අරාබියේ ප්‍රමුඛපෙළේ මානව සම්පත් සහ බඳවා ගැනීමේ සමාගම් මෙන්ම යුරෝපීය, ආසියානු සහ අප්‍රිකානු රටවල සැලකිය යුතු පිරිසක් මේ ප්‍රදර්ශනයට එක්ව තිබෙන අතර විශාල පිරිසක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩපය වෙත ද පැමිණ ඇත.

විදේශ රැකියා බඳවා ගැනීමේ නියෝජිතායතනවල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ අවස්ථාව අතරතුර ඔවුන්ගේ සගයන් සමඟ මුහුණට මුහුණලා රැස්වීම්වල ද නිරතව තිබේ. විදේශ රැකියා නියෝජිතායතනවල සංචාරය කරන ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳහා ප්‍රතිපෝෂණ සැසියක් තානාපති කාර්යාලය විසින්

එම ප්‍රදර්ශනයේ අවසන් දිනයේ පවත්වා ඇත.

මේ රැස්වීම අමතමින් ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා, සෞදි අරාබියානු රාජධානියේ දැක්ම 2030 න්‍යාය පත්‍රය යටතේ නව අවස්ථා දිග හරිමින් ශ්‍රී ලංකාවෙන් නිපුණ ශ්‍රම බළකාය සඳහා සෞදි ශ්‍රම වෙළෙඳපොළේ ඇති විශිෂ්ට අපේක්ෂා අවධාරණය කර තිබේ. මේ අතර මේ පොරොන්දු වූ අංශය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලංකාවේ මිනිස් බල බඳවා ගැනීමේ ආයතනවලින් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ සෞදි අරාබියේ ටකාමෝල් හෝල්ඩිංග්ස් ආයතනය අතර අත්සන් කරන ලද නිපුණතා සත්‍යාපන වැඩසටහන සඳහා පුහුණු ශ්‍රම කාණ්ඩ 23ක් පිරිනමන සහ සෞදි ශ්‍රම වෙළෙඳපොළේ සේවකයන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම අරමුණු කරගත් ගිවිසුම ප්‍රයෝජනයට ගන්නා ලෙස ද තානාපතිවරයා ඔවුන් දිරිමත් කර ඇත.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර කම්කරු සබඳතා වැඩිදියුණු කිරීම සඳහා රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්මකට නියෝජිතායතනවල යෙදවුම් ඒකාබද්ධ කිරීමේ වැඩමුළුවක් ද මේ ප්‍රතිපෝෂණ සැසියට ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි බී.ඒ. රෝහිණී, වැඩබලන අලෙවි කළමනාකාර ඒ.පී.එම්. දේවසුරේන්ද්‍ර,සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා සහ

සුබසාධන උපදේශක එම්.පී. රන්දෙණිය මහත්ම මහත්මීන් ද මේ ප්‍රදර්ශනයට එක්ව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT