Monday, April 21, 2025
Home » ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ගමනට ලොව දසතින් සුබපැතුම්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ගමනට ලොව දසතින් සුබපැතුම්

by mahesh
November 8, 2024 1:00 am 0 comment

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විස්මිත ජයග්‍රහණය වෙනුවෙන් ලෝක නායකයන් පෙරේදා රාත්‍රියේ සිට සුබපැතුම් එක් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැදපෙරදිග යුද ගැටුම්වලදී නිරතුරුවම ඊශ්‍රායලයේ සමීපතමයා වූ අමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය අත්කර ගැනීම අමෙරිකාවේ නව යුගයක ආරම්භය බවත්, එය අමෙරිකානු – ඊශ්‍රායල මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා සිසි සඳහන් කර ඇත්තේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය මැදපෙරදිගට සාමය ගෙන දීමට ඉවහල් වනු ඇති බවය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ අමෙරිකානු පරිපාලනය පලස්තීනයට සහාය දක්වනු ඇතැයි විශ්වාස කරන බව පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

චිනය සමඟ දේශපාලන අර්බුදයක පැටලී සිටින තායිවානයේ ජනාධීපති ලායි චිං ටේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නැඟෙනහිර ආසියානු කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට නව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය තුළින් ශක්තිමත් අමෙරිකා යුගයක් දැකීමට අපේක්ෂා කරන බවත්, යුක්රේනයට සාමය උදා කිරීමට නව ජනපතිගේ අවධානය යොමුවනු ඇතැයි දැඩිව විශ්වාස කරන බවත් යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්සි ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් ද, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල්ද, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවල් ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා හවුල වැනි ජාත්‍යන්තර සංවිධාන රැසක් ද ඒ අතර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT