නෙස්ලේ මයිලෝ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය විසින් සංවිධාන කළ මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලියේ සමස්ත ශූරතාව පිට පිට දෙවැනි වතාවටත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ දිනා ගත්තේය. මලියදේව ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවලියේ 19න් පහළ, 15න් පහළ හා 13න් පහළ ශූරතා තුනම දිනා ගැනීමට සමත් වූහ. 19න් පහළ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මලියදේව බාලිකා විද්‍යාලයේ භාෂිණී උඩගෙදර හිමිකර ගත්තාය.
එයට අමතරව 13න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මලියදේව බාලිකාවේ ශෙයාරා දහම්සි, 15න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මලියදේව බාලිකාවේම සෙණුමි නිමන්සා හා 17න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ අයෝධ්‍යා අලවත්තේගම සම්මානයට පාත්‍ර වූහ.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ඊයේ නිමා වූ මේ ශූරතාවලිය 31 වැනි වරටත් නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් පැවති අතර, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය මෙය සංවිධාන කළේය. අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වශයෙන් වයස් කාණ්ඩ 4ක් යටතේ ‘ඒ’ හා ‘බී’ වශයෙන් කාණ්ඩ දෙකකින් තරග පැවැත්විණි. වසර 13ක් අඛණ්ඩව ශූරතාව දිනා සිටි කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය මෙවර තරගාවලියේ මූලික වටයෙන් ඉවතට යෑම කැපී පෙනිණි. වඩ්ඩුකෝඩ්ඩේ යාපනය විද්‍යාලය පළමු වතාවට මේ තරගාවලියට පැමිණ 17න් පහළ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි.
‘ඒ’ කාණ්ඩයේ අවුරුදු 19න් පහළ තරගයේ අවසන් මහා තරගය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය අතර පවත්වා ලකුණු 40 – 39ක තියුණු ජයක් හිමිකර ගැනීමට මලියදේව ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අවුරුදු 17න් පහළ අවසන් මහා තරගය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය හා මහනුවර හිල්වුඩ් අතර පවත්වා ලකුණු 32 – 23කින් මහාමායා බාලිකා විද්‍යාලය ජය හිමිකර ගත් අතර, 15න් පහළ අවසන් මහා තරගයේදී නුගේගොඩ අනුලා විද්‍යාලය ලකුණු 21 – 11ක් ලෙස පරාජය කිරීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සමත් විය.
කොළඹ දේවි බාලිකා විද්‍යාලය සමඟ පැවති අවුරුදු 13න් පහළ අවසන් මහා තරගයෙන් ලකුණු 8 – 6ක් ලෙස කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ජයග්‍රහණ හිමිකර ගත්තේය.
‘බී’ කාණ්ඩයේ අවුරුදු 19න් පහළ තරගයේ ශූරතාව මාතලේ සුජාතා බාලිකා විද්‍යාලය හා අනුශූරතාව ගැට්ටුවාන මහින්ද විදුහල දිනා ගත්තේය. එහි 17න් පහළ ශූරතාව කුරුණෑගල මහින්ද විද්‍යාලය, අනුශූරතාව කුලියාපිටිය මොලඑළිපිටිය කනිෂ්ඨ විදුහලට හා15 න් පහළ ශූරතාව පාදෙනිය සුනන්ද මහා විද්‍යාලය, අනුශූරතාව උඩිස්පත්තුව කනිෂ්ඨ විදුහල දිනා ගත්තේය.
ජය සංකේත ප්රදානය නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙපාන්, අධ්‍යක්ෂ මොහොමඩ් අලි, අනුග්‍රාහක අංශ ප්‍රධානී සජීව වික්‍රමසිංහ, ආසියානු නෙට්බෝල් සභාපති වික්ටෝරියා ලක්ෂ්මි, අධ්‍යාපන අමාත්‍යාංශයේ උපාලි අමරරත්න, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ සභාපති නිරෝධා අබේවික්‍රම යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.