වැලිකල, රන්පොකුණ වත්ත පාර, ප්රදේශයේ පොදු ළිඳක තිබියදී කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (05) සොයා ගත් බව හොරණ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පොකුණුවිට, වැලිකල, රන් පොකුණවත්ත පාර, නො. 28/2 ලිපිනයේ පදිංචි උඩවත්තගේ ඉරෝෂා මල්කාන්ති නමැති 50 හැවිරිදි දෙදරු මවකි.
මියගිය කාන්තාව වසර ගණනාවක සිට මානසික රෝගයකින් පෙළෙන අතර ඒ සඳහා අංගොඩ රෝහලෙන් ප්රතිකාර ලබාගෙන ඇති අතර පසුව හල්තොට රෝහලෙන් ප්රතිකාර ලබාගෙන තිබේ. ඇය එම බෙහෙත් සැර බව පවසමින් දිනකට දෙවරක් පමණ නාන අතර මුල් කාලයේ ඒ සඳහා ඇය වැටී සිටි ළිඳ භාවිත කර පසුව නිවෙසේ නාන කාමරය භාවිත කර තිබේ. වරින් වර රෝගී තත්ත්වය උත්සන්න වන විට ඇය එහෙ මෙහේ ඇවිදින බවද අනාවරණය වී තිබේ.
මීට සතියකට පමණ පෙර සිට ඇයට රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර ඇඟ රස්නෙ බව පවසමින් සිට ඇති බව ද පොලිසිය පවසයි. ඇය පසුගිය 04 වැනිදා සුපුරුදු පරිදි නිවෙසේ වැඩ කටයුතු සිදුකර නින්දට ගොස් ඇති අතර පෙරේදා (05) උදෑසන ඇය නිවෙසේ නොසිටි බැවින් ඇගේ වැඩිමහල් පුතා විසින් සොයා බැලීමේදී නිවෙසට මීටර් 30ක් පමණ දුරින් ඇති පොදු ළිඳේ තිබියදී මවගේ සිරුර සොයාගෙන තිබේ. මේ පිළිබඳව ඉදිරි විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබයි.