ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විනය හේතුන් මත යැයි පවසමින් හදිසියේම කොළඹ අපේක්ෂා රෝහලට මාරු කර යැවීමට විරෝධය දක්වමින් ඊයේ (06) ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.
මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශවාසීන්, රෝගීන්ගේ ඥාතීන් සහ සුව වී සිටින රෝගීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මෙවන් දක්ෂ පිළිකා ශල්‍ය වෛද්‍යවරයකු මාරුකර යැවීම හේතුවෙන් ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් විශාල පිරිසක් අසරණ බවට පත්වන බව ද ඔවුහු එහිදී පෙන්වා දුන්හ.
ඔවුන් වැඩිදුරත් පවසන්නේ ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකාවේ පළමු රෝගී සහන සත්කාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා මාරුකර යැවීමට කටයුතු කර ඇත්තේ වෛද්‍යවරුන්ගේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස බවයි. වෛද්‍යවරුන් විසින් නියමිත රාජකාරි වේලාවේ සේවය නොකර අතිකාල දීමනා වංචාසහගත ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී තිබිණි. එමඟින් ඔහු පෙන්වා දී තිබුණේ වෛද්‍යවරුන් අත්තනෝමතික ලෙස අතිකාල දීමනා ලබා ගැනීමෙන් මහජන මුදල් අවභාවිත වන බවයි. මෙම ලිඛිත දැනුම්දීමෙන් පසු වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සමඟ පසුගියදා තවත් වෛද්‍යවරු පිරිසක් බහින්බස් වී තිබූ අතර, ඉන් පසු එම වෛද්‍යවරු පෙරේදා (5) ගාල්ල ජාතික රෝහලේ වැඩවර්ජනයක් ද ආරම්භ කළහ.
වැඩවර්ජනය කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ක්‍රිෂාන්ත පෙරේරා මහතා දිගින් දිගටම වෛද්‍යවරුන් සමඟ ගැටුම් ඇතිකර ගන්නා බැවින් ඔහුගේ සේවය අත්හිටුවීම හෝ වෙනත් සේවා ස්ථානයකට මාරුකර යවනතුරු අඛණ්ඩව වැඩ වර්ජනය කරන බවයි. මෙම වර්ජනය හේතුවෙන් රෝහලේ සාමාන්‍ය කටයුතු අඩාළ වන බැවින් විනය හේතුන් මත බව පවසමින් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා කොළඹ අපේක්ෂා රෝහල වෙත මාරු කරන බවට ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා ලිපියක් යවා ඇත. එහි දැක්වෙන්නේ විනය හේතූන් මත අමාත්‍යාංශයේ ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුවීම සිදු කරන බවයි. විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා 2025 වර්ෂයේ ජූනි මාසයේ විශ්‍රාම ලැබීමට නියමිත අතර, ඔහු 2024 දෙසැම්බර් 1 වැනි දා සිට විශ්‍රාම පූර්ව නිවාඩු අයදුම්කර තිබිණ. එසේ තිබියදී ඔහු හදිසියේම මෙලෙස මාරු කිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කර තිබිණ.