දවුල්, බෙර, තම්මැට්ටම්, හොරණෑ ආදී සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ අනුසාරයෙන් ශබ්ද පූජා පවත්වා දානයට, පිරිතට, අවමඟුලට මහා සංඝරත්නය වැඩමවීම අනාදිමත් කාලයක පටන් ගැමි ජන සමාජය තුළ කිඳාබැස පවතින්නකි. එක් පසකින් ශබ්ද පූජා පැවැත්වීම චාරිත්‍ර විධියක් ලෙස පවත්වාගෙන යන අතරවාරයේ ඒ හරහා සිය ජීවිකාව සරිකර ගැනීමේ ඉඩ අවකාශ ද එම ශබ්ද පූජා පවත්වන ශිල්පීන්ට උදා වී තිබිණි. එහෙත් වර්තමානයේ මෙම මාහැඟි කලාවට අත්ව ඇති ඉරණම පිළිබඳව එම ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් කිහිපදෙනකු මෙසේ අදහස් දැක්වීය.
පාරම්පරික වාද්‍ය ශිල්පියකු වන තඹුත්තේගම, කොත්මල්පුර පදිංචි ඩී.පී. රූපානන්ද මහතා
“දැන් මේ කලාව පවත්වාගෙන යන්න ශිල්පීන් නැතිකම තමයි ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ. ගමක දානයකට, පිරිතකට, මරණයකට හේවිසි ගහන්න තුන් හතරදෙනෙක් හොයාගන්නඑක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පාරම්පරිකව මේ චාරිත්‍ර කරපු මුල් පරම්පරා කීපයේ කට්ටිය නැති වුණාට පස්සේ දැන් ඉන්න දරුවෝ මේක වෘත්තියක් විදිහට කරන්න ඒ තරම් කැමැත්තක් නෑ. ඒකෙන් තමයි මේ ප්‍රශ්නෙ ඇවිල්ලා තියෙන්නේ. සමහර දරුවෝ බාගෙට මේ ශාස්ත්‍රය ඉගෙනගෙන අතරමඟ අතෑරලා දාලා යනවා. එහෙම කරන්න පුළුවන් රාජකාරියක් නෙමෙයි මේක.”
තරුණ කලා ශිල්පියකු වන කොත්මල්පුර පදිංචි නදීෂ ප්‍රභාෂ්වර මහතා –
“සමහර මාසවල දහපහළොස් තැනක වැඩ එනවා. හැබැයි ඉතින් වැඩ හතරක් පහක් විතරක් එන කාලත් එනවා. හේවිසි ගහන අය දැන් එක තැනක නෑ. තැන් තැන්වලින් කට්ටිය එකතු කරලා තමයි කණ්ඩායම හදාගන්න වෙලා තියෙන්නේ. ජීවත් වීමේ අර්බුධය හින්දා කවුරුවත් එක දිගට මේ කලාව කරන්න කැමති නෑ. එහෙන් මෙහෙන් බාගෙට ඉගෙනගෙන මේ කලාව කරන්නත් බෑ. ලොකුම දේ අමාරුවෙන් මේ කලාව රැකගන්න වෙහෙසෙන අයට අත දෙන්න කවුරුත් නෑ. සමහරු බලන්නේ අපෙන් වැඩ අරගෙන එයාලගේ වැඩේ කර ගන්න විතරයි. අපේ අනගාතේ ගැන එයාලට අදහසක් නෑ.”
තලාව ප්‍රදේශයේ තරුණ කලා ශිල්පී යසෝධ මුණසිංහ මහතා –
“සමහරු ශිල්පියෝ ගෙන්වලා හේවිසි ගහනව වෙනුවට පටිගත කරපු හේවිසි දාලා හාමුදුරුවෝ වඩම්මනවා. ඇත්තටම එහෙම දෙයක් අපේ සංස්කෘතියේ නෑ. මෙහෙම හිතුවොත් ස්වාමීන් වහන්සේලා ජීවමානව බණට වැඩම කරවන්න ඕන නෑනේ. පටිගත කරපු බණක් මිනිස්සුන්ට අහන්න දෙන්න පුළුවන්නේ. ඒත් ඒක නෙමෙයිනේ අපේ සම්ප්රදාය. මේ සම්ප්‍රදායෙන් පිට දේවල් කරන්න ගියාම වෙන්නේ අපේ පිරිහීම තවත් ඉක්මන් වෙන එක. මේ දේවල් ජීවමානව දකින් නැතිව දරුවෝ කොහොමද අපේ දේවල් ඉගෙන ගන්නේ. අපිත් මේක අතෑරලා දැම්මොත් හෙට දවසේ මේ කලාව නැත්තටම නැති වෙනවා.”