වෛද්‍ය උපදෙස් නොමැතිව සමට ආලේපන ගැල්වීමෙන් දිලීර ආසාදිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව හෝමාගම මූලික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදාරසිංහ මහත්මිය පැවසුවාය.
සම සුදු වීමට, සමේ කළු පැල්ලම් නැති කර ගැනීම ඇතුළු විවිධ හේතු නිසා ස්ටීරොයිඩ් අඩංගු ආලේපන ගැල්වීම මීට හේතු බව ද ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (06) පැවසුවාය.
වෛද්‍ය උපදෙස්වලින් තොරව සමට විවිධ ආලේපන වර්ග ගැල්වීම නිසා දිලීර ආසාදන පමණක් නොව බැක්ටීරියා ආසාදන පවා වැඩිහිටියන් හා දරුවන් අතර ව්‍යාප්තව පවතින බවත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල මේ දිනවල පවතින බහුල ප්‍රශ්නයක් බවට මෙය පත්ව තිබෙන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ප්‍රචාර මඟින් පුද්ගලයන් මෙම ආලේපන වර්ග භාවිතයට පුරුදු වී ඇති බවත් සමේ හට ගත් දිලීර හා බැක්ටීරියා ආසාදන නිසා සමේ රෝග වෛද්‍යවරයකු වෙත අදාළ පුද්ගලයන් යොමු වන විට වෛද්‍යවරයාට රෝගය හඳුනා ගත නොහැකි ලෙස එය වෙනස්ව පැවැතීම ගැටලුවක් බවත් ඇය අවධාරණය කළාය.
තමන්ගේ හිතු මනාපෙට සමේ ආලේපන ගැල්වීම නිසා සමෙන් සියයට 50 ක පමණ ප්‍රදේශයක දිලීර ආසාදනය ව්‍යාප්ත වූ රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද, දිලීර නාශක ඖෂධවලට මෙම දිලීරයන් ප්‍රතිරෝධ දැක්වීම ගැටලුවක්ව පවතින්නේ යැයි ද ඇය ප්‍රකාශ කළාය.
මුහුණ, ඉකිළි, කිහිලි යනාදී සංවේදී ස්ථානවල ස්ටීරොයිඩ් සහිත ආලේපන ගැල්වීමෙන් ඉතාම ඉක්මණට දිලීර ආසාදනයන් ව්‍යාප්ත වන බව ද ඇය පැවසුවාය.