විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිව්දෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා දී ඇති ප්‍රතිඥාව ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා තෙක් බලපවත්වන පරිදි ඊයේ (06) දීර්ඝ කරන ලදි.
නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා දෙන ලද නියෝගයක් නොතකා හරිමින් කටයුතු කිරීම මඟින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු හතරදෙනකු අධිකරණයට අපහාස කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කරන ලදි.
මුර්දු ප්‍රනාන්දු , ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
එහිදී මෙහි දෙවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අතිරේක සුරාබදු කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර සිටියේ සිය සේවාදායකයා මෙම මත්පැන් නිකුත් කිරීමේ ක්‍රියාවලියට කිසිදු සම්බන්ධයක් නොමැති අයකු බවය. සුරාබදු දෙපාර්තමේන්තුවෙහි සේවය කළ කාලය තුළ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔහු කිසිදු කටයුත්තක් කර නොමැති බවද එම ක්‍රියාවලියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද නීතීඥවරයා සඳහන් කළේය.
එසේ තිබියදී අධිකරණයට අපහාස කිරීමේ නඩුවක පාර්ශ්වකරුවකු ලෙස ඔහු නම් කිරීම මඟින් විශාල අගතියක් සිදුවී ඇති බවද නීතිඥවරයා සඳහන් කළේය.එබැවින් මෙම අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ලට අදාළ ක්‍රියාවලියෙන් නිදහස් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කර සිටියේ දෙවන වගඋත්තරකරු සුරාබදු දෙපාර්තමේන්තුවේ කවර තනතුරක් දැරුවද අධිකරණ විසින් දෙන ලද නියෝගය අනුව කටයුතු කිරීමට ඔහුට බැඳී සිටින බවය. එබැවින් ඔහු මෙම අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ එම වගඋත්තරකරු මෙම නඩුවෙන් මුදා හැරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී නියෝගයක් කළ නොහැකි බවය. කෙසේ වුවද පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම් කාර පාර්ශ්වයට අවසර ලබා දීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
ඒ අනුව අදාළ කරුණු තහවුරු කිරීම ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා සිදු කිරීමට නියම කෙරිණ.
අලුතින් සුරාබදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදී නව බලපත්‍ර හතරක් නිකුත් කිරීමට කටයුතු කිරීම මඟින් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සිව්දෙනකු මඟින් අධිකරණයට අපහාසයක් කර ඇති බවට පැමිණිලි කරමින් ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද්‍ර ප්‍රනාන්දු විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් හතර දෙනාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
කෙසේ වුවද මෙම අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ වග උත්තර කරුවන් වන සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ, ධර්මසීලන් සහ සී.ජේ.ඒ. වීරක්කොඩි යන අය විදෙස්ගතවීමේ සූදානමක් ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් පෙත්සම්කරු මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කළේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මඟහැරීමේ අරමුණින් ඔවුන් විදෙස්ගත වන බවද මෝසමෙහි සඳහන් විය.
එම මෝසම කැඳවූ අවස්ථාවේදී නොවැම්බර් මස 10වැනිදා තෙක් විදේශ ගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් සිය නීතිඥවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබුණි.