මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයකු මිලට ගත් ඉඩමක තක්සේරු වටිනාකම අඩු කර රජයේ මුද්දර ගාස්තු අවම කරදීමට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි නැඟෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (05) නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදාහරින ලෙසට නියෝග කරනු ලැබුවේ නැඟෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් අබ්දුල් කාති මොහොමඩ් යන සැකකරුය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සැකකරු පසුගිය මස 9 දින අත්අඩංගුවට ගෙන මඩකළපුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉකුත් 22 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියේය.
මඩකළපුව මහේස්ත්‍රාත්වරිය, පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී කරනු ලැබූ නියෝගයකට අනුව ඉකුත් (22 ) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරු යොමු කළ බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ මඩකළපුව, වෙන්කල්අඩි ප්‍රදේශයේ පුද්ගලයකු විසින් රුපියල් කෝටියක මිලකට ලබාගත් පර්චස් 65 ඉඩම සඳහා රජයේ මුද්දර ගාස්තු ලෙස රුපියල් ලක්ෂ හයක මුදලක් ගෙවා තිබියදී, සතුරුකොණ්ඩාන් ප්‍රදේශයේ පිහිටි එම ඉඩම රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක් වටිනා බවට තක්සේරු කර ඇති ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලය අමතර දඩ මුදලක් රජයට ගෙවන ලෙසට පැමිණිලිකරුට දැනුම් දී ඇති බවය. රජයේ ගාස්තු ලෙස රුපියල් 850,000ක මුදලක් දඩයක් ලෙස ගෙවිය යුතු බවත් දන්වා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
එම දඩය ලක්ෂ දෙක දක්වා අඩුකර දීමට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි සැකයට කොමසාරිස්වරයා අත්අඩංගුවට ගත් බවට කරුණු ඉදිරිපත් වී ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. රුපියල් 25,000ක දඩ මුදලක් ද නියම කෙරිණි.