මන්නාරම මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරයේ සිට ගෙනා සැකකරුවකුට ආහාර ලබාදීමට සූදානම් වූ ඔහුගේ බිරියගෙන් රුපියල් 1,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන බන්ධනාගාර නියාමකවරයකු මන්නාරම පොලිසිය විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගෙන තිබේ.
ඉලුප්පුකඩචෛ පොලිස් ස්ථානය මඟින් පවරන ලද නඩුවකට අදාළ සැකකරුවකුගේ බිරියකගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇති බව මන්නාරම පොලිසිය සඳහන් කළේය.
මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කර සිටි සැකකරුගේ බිරියට සිය සැමියා මුණ ගැසී කතා කිරීමටත් ආහාර ලබාදීමටත් මෙම රුපියල් 1,000ක මුදල බන්ධනාගාර නියාමකවරයා බලහත්කාරයෙන් ලබාගන්නා අයුරු උසාවිය භාරව සිටි පොලිස් කොස්තාපල්වරයා දැක ඇති බවද කියති.
පොලිස් කොස්තාපල්වරයා ඒ ගැන පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකපිට බන්ධනාගාර නියාමක අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විට ඔහු සතුව තිබී රුපියල් 6,950ක මුදලක් හමුවූ බවද පොලිසිය සඳහන් කළේය.