මම දේශපාලනයට අලුතින් ආව කෙනෙක් නොවෙයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රික වීරසූරිය බණ්ඩාර
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබා දුන් කණ්ඩායම අද මැතිවරණයට තරග කරන්නේ නැහැ, එය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට බලපාන්නේ කුමන ආකාරයට ද?
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබාදීම ඉතාමත් හොඳ දෙයක්. ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව විශ්වාසය තබා තමයි ඡන්දය ලබා දුන්නේ. රට අස්ථාවර වීම නවතා, රට යම් ස්ථාවර තැනකට පත් කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා රට ස්ථාවර කිරීම සහ කඩා වැටුණු රට නැවත ස්ථාවර කිරීමට සමත් වුණා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මූලික කරගත් කණ්ඩායම විශාල කාර්යයක් ඉටු කළා. අද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ලෙස එක්ව තරග කරන්නේ ඒ කණ්ඩායමයි.
සමහරු කියන්නේ දේශපාලන බලය වෙනුවෙන් විවිධ පාර්ශ්ව එකතු වූ පිරිසක් මෙම පෙරමුණේ සිටින බවයි.?
ඒ තර්කය වැරදියි. මේ පෙරමුණ තුළ සිටින්නේ රාජ්‍ය පාලනය, දේශපාලනය පිළිබඳ ඉතාමත් ඉහළ අත්දැකීම් සහිත පිරිසකුයි. ඒ පිරිසට නායකත්වය ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ රාජ්යතාන්ත්රිකයකු වන රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ නිසා මෙම පෙරමුණට තමයි හොඳම අපේක්ෂක කණ්ඩායම සිටින්නේ. ඒ වගේම සමබර අපේක්ෂක පිරිසක් සිටින දේශපාලන පක්ෂයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කය උදාහරණයකට ගනිමු. ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම තුළ දේශපාලනය පිළිබඳ හොඳ අත්දැකීම් තිබෙන පිරිස් වගේම විවිධ වෘත්තීය ප්‍රවීණයෝ සිටිනවා. ඒ නිසා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ කියන්නේ පාර්ලිමේන්තුව තුළ හොඳ කාර්යභාරයක් ඉටු කළ හැකි පිරිසක් සිටින කණ්ඩායමක්. ජනතාව තුළ ඒ විශ්වාසය ගොඩනැඟෙමින් තිබෙනවා. ලබන සතියේ තිබෙන මහමැතිවරණයේදී ඒ විශ්වාසය ජනතාව අප පෙරමුණ වෙත පළ කරනු ඇතැයි මා හිතනවා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ කියන්නේ එක්සත් ජාතික පක්ෂයම කියලා සමහරු කියනවා?
ඒක වැරදි අදහසක්, ඇත්තෙන්ම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ කියන්නේ ප්රගතිශීලි පක්ෂ සහ කණ්ඩායම් රැසක එකතුවක්. මෙරටට විශාල සේවයක් ඉටු කළ නායකයන් නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද නියෝජනය කරනු ලබන්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එක් පාර්ශ්වයක්. එවැනි හොඳ පිරිසක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ. ඇත්තෙන්ම රට වෙනුවෙන් විශාල වැඩ ප්‍රමාණයක් ඉටු කළ හැකි පිරිසක් තමයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරනු ලබන්නේ. ඒ නිසා තමයි අප ඉල්ලා සිටින්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරනු ලබන පළපුරුදු, දක්ෂ, උගත් කණ්ඩායමක් පාර්ලිමේන්තුව වෙත පත්කර එවන ලෙස. ඒ සඳහා ජනතාව වෙත දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා.
දේශපාලන කටයුතු සඳහා අත්දැකීම් සහ පළපුරුද්ද තිබෙන පිරිසක් පත් කර එවන ලෙස සිදු කරනු ලබන ඉල්ලීමට තිබෙන පදනම කුමක්ද?
දේශපාලනය තුළ කටයුතු කරද්දි හොඳ අත්දැකීම් තිබෙන්න ඕනෑ. එහෙම නැතිව ආධුනික පිරිසකට පමණක් රටක් පාලනය කරන්න බැහැ. පාර්ලිමේන්තු ක්‍රමය ගැන අත්දැකීම් තිබෙන පිරිස් සමඟ ඒකාබද්ධව තමයි රටකට ඉදිරියට යාමට හැකියාව තිබෙන්නේ.
ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති අතර වෙනසක් තිබෙන බවට විපක්ෂය චෝදනා එල්ල කරනවා,?
නිදහස් අධ්‍යාපනය ගැන විශාල හඩක් නැඟූ කණ්ඩායමක් තමයි අද ආණ්ඩු බලය දරනු ලබන්නේ. එදා එම කණ්ඩායම පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳව දැරුවේ වෙනත් මතයක්. ඒත් අද ඉහළම තනතුරුවලට පවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල තනතුරු දැරූ පිරිස් පැමිණ තිබෙනවා. එහෙත් එදා පෞද්ගලික අධ්‍යාපනය එපා කියන සටන්වලට විශාල ශිෂ්‍ය ජීවිත ප්‍රමාණයක් බිලි වුණා. ඒ වගේම සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. එහෙත් එදා ප්‍රතිපත්ති වෙනුවට අද කතා කරන්නේ, ක්‍රියාකරන්නේ වෙන දෙයක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු වන ඔබ පිළිබඳව හඳුන්වා දීමක් කළ හැකිද?
මම දේශපාලනයට අලුතින් ආව කෙනෙක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ , ප්රගතිශීලි කඳවුර සමඟ කටයුතු කළ කෙනෙක්. අවුරුදු තිස් පහකට වැඩි කාලයක් නීතිඥයකු විදිහට කටයුතු කරනවා. මම දේශපාලනයට පැමිණියේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය කරනු ලබන සේවය සිදු කිරීමටයි. ඒ සඳහා අවස්ථාව මා වෙත ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
උදිත ගුණවර්ධන
හැම පක්ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන්න ඕන
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සාලිය සරත් කුමාර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න ඔබ තිරණය කළේ ඇයි?
මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භයේ සිට පක්ෂ සාමාජිකයෙක් විදියට පක්ෂය සමඟ සමීපව කටයුතු කරපු කෙනෙක්. මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනයට කරමින් ඉදිරිපත් වෙන්න සුදුසු පරිසරයක් මං වෙනුවෙන් සැකසුණා. යම් යම් හේතු මත මම වගේම තරුණ නවක අපේක්ෂකයන් සෑහෙන පිරිසකට මෙවර අවස්ථාව හිමිවෙලා තියෙනවා.
ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයේදී මිනිස්සු පැවති පාලන ක්‍රමය වෙනස් කරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වුණා. ඒ වෙලාවේ මාලිමාවේ අපේක්ෂකයා තෝරාපත් කර ගත්තට දැන් පැවැත්වෙන්නේ මහමැතිවරණයක්. මහමැතිවරණයකින් තෝරා පත් කරගන්නේ මහජන නියෝජිතයන්. මහ මැතිවරණයකින් මාලිමාව නියෝජනය කරන අය විතරක් පාර්ලිමේන්තුවට පත්වෙන්නේ නැහැ. මහමැතිවරණය කියන්නේ පක්ෂයක් තෝරන එකක් නෙවෙයි. හැම පක්ෂයකම ඉන්න හොඳ මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන්න ඕනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න මම මහජනතාවගේ නියෝජිතයෙක් විදියට පත් කරන්න හොඳයි කියලා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව තීරණය කළොත් මටත් මෙවර පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවෙයි.
හොඳ මිනිස්සු කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොන වගේ අය ද?
හොඳ මිනිස්සු තෝරන්නේ බාහිර ස්වරූපයෙන් නෙවෙයි. තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් සැබෑ සේවාවක් ඉටුකළ හැකි, ප්‍රතිපත්තිගරුක අපේක්ෂකයෝ මාලිමාවේ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්, ගෑස් සිලින්ඩරයෙන් වගේම තවත් පක්ෂවලින් ඉදිරිපත්වෙලා ඉන්නවා. මෙතැනදී මහජනතාව දැනගන්න ඕනේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න කියන්න,
මහජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන පුද්ගලයන් තෝරා පත් කරගන්න. විශේෂයෙන් තමන් තෝරා පත්කර ගන්න මහජන නියෝජිතයා හමුවෙන්න පදිංචි ලිපිනයක්, කාර්යාලයක් තියෙන්න ඕනේ. මේ වෙනකල් මාලිමාවේ මහජන නියෝජිතයෝ කවුද කියලා මිනිස්සු අඳුරන්නේ නැහැ. මිනිස්සු අඳුරන්නේ මාලිමාව නියෝජනය කරන මිනිස්සු විතරයි. මේ පාර ගමේ දේශපාලනය දන්න, ග්‍රාමීය අදහස් නියෝජනය වන සැබෑ ජනනායකයෝ පත්වෙන්න ඕනේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඉතිහාසයේ කිසිදු දිනෙක නොගත් දේශපාලන තීන්දුවක් මෙවර අරගත්තා. ඔබ හිතන විදියට එහෙම වුණේ ඇයි?
ගම්පහ කියන්නේ ප්‍රබල වාමාංශික නායකයෝ නියෝජනය කරපු, වාමාංශික නායකයෝ බිහි වුණු භූමියක්. එදා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ සිට ලක්ෂ්මන් ජයකොඩි, රෙජී රණතුංග වගේ දේශපාලන නායකයන්ගේ ප්රගතිශීලී වාමාංශික අදහස්වලින් පෝෂණය වුණු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පහුගිය කාලයේ මහා පාවාදීමකට ලක්වුණා. මේ පාවාදීම නිසා කලකිරුණු ගම්පහ ජනතාව විකල්පය විදිහට, ඊළඟ වාමාංශික කඳවුර විදියට දැක්කේ මාලිමාව. ඉතින් පසුගිය මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව තීන්දුවක් ගත්තා. හැබැයි මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හඳුනාගෙන තියෙනවා මාලිමාව කියන්නේ වමේ මුහුණක් පැලඳ සිටින දෙයක් බව.
ඔබ එවැනි චෝදනාවක් එල්ල කරන්නේ ඇයි ?
අපි එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා. මෑතම සිද්ධිය ඔවුන් කියලා තිබුණා වෘත්තීය සමිති විසිරවන බවක්. ඒ කියන්නේ අන්ත ෆැසිස්ට්වාදයක්. පහුගිය කිසිම ආණ්ඩුවකට ආණ්ඩු කරන්න දුන්නේ නැති වෘත්තීය සමිති කාලයක් ඔවුන් බිහි කෙරුවා. කිසිම වැඩක හොඳක් දැක්කේ නැහැ. විවේචන විතරයි තිබුණේ. සැබෑ වෘත්තීය සමිති ව්‍යාපාරය මැඬපවත්වලා මොනවාද අද ඔවුන් කරන්නේ.
දැවැන්ත ජනතා ජයග්‍රහණ ලබා ගත්ත, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පහුගිය මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉදිරියේදී ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එකතු වෙයි කියලා ද ඔබ හිතන්නේ?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැමදාමත් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින, රාජ්‍ය දේපළ හා සම්පත් සුරකින දේශපාලන පක්ෂයක්.ජනතාවට බොරු පොරොන්දු දීලා ජනතාව රවට්ටන්න අපි කැමැති නැහැ. පහුගිය ජනාධිපතිවරණයේදී යාපනයේ ඡන්ද ටික විතරක් ඉලක්ක කරගෙන ජනතාවට බොරු කිව්වේ නැහැ. අපේ දේශපාලනය කරගෙන, අපේ මතය ජනතාව අතරට ගෙනියන්න අපි කැපවුණා. අවස්ථාවාදීව වෙනස් වුණේ නෑ. මුදලට, බාර් ලයිසන්වලට ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ. එදාට වඩා අද මාර්ග පද්ධතිය දියුණුයි. ප්‍රවාහනය දියුණුයි. මේක 75 වසරක සාපය නෙවෙයි. 75 වසරක දියුණුව. ඒ දියුණුව තවත් ඉදිරියට ගෙනියන්නයි පත්වෙන පාලකයෝ කටයුතු කරන්න ඕනේ.
රන්මලී සෝමසිරි